ලංකා අයිඕසී සමාගම සිය ඉන්ධන සැපයුම් තවදුරටත් තහවුරු කරගැනීමේ සාකච්ඡාවල

ලංකා අයිඕසී සමාගම මෙරටට සිදු කරන සිය ඉන්ධන සැපයුම් තවදුරටත් තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

ඊයේ දිනයේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ගුප්තා මහතා මේ බව පවසා සිටියි. මේ දිනවල සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියා පැසිපික් පෙට්‍රෝලියම් සමුළුව (APPEC) සඳහා සහභාගි වෙමින් සිටියදී එම ඉන්ධන සැපයුම්කරුවන් සමගින් සිදුකරන සාකච්ඡා පිළිබඳව සඳහන් කරමින් ඒ මහතා මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව ENOC Sgp, Petrochina, Marubeni, Adani Sgp සහ E3 Energy යන ඉන්ධන සැපයුම් සමාගම්හි නියෝජිතයන් සමගින් මෙලෙස ලංකා අයිඕසී වෙත සිදුකරන ඉන්ධන ටෙන්ඩර ඉදිරියටත් පවත්වාගෙන යාම සුරක්ෂිත කරගැනීම සඳහා වන සාකච්ඡා පැවැත් වූ බව ඔහු පවසයි.

මෙහිදී සිදුකළ සියලුම සාකච්ඡා සාර්ථක වූ බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන විශ්වාසයක් ගොඩනැගුණු බවත් ගුප්තා මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 116