අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම්හි 10.24%ක වර්ධනයක්

මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳභාණ්ඩ අපනයන ඉපැයීම්හි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,213.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙය 2021 අගෝස්තු මාසයේදී වාර්තා කළ ඩොලර් මිලියන 1,101ක අපනයන ඉපැයීම හා සැසඳීමේදී 10.24%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත අනුසාරයෙන් අපනයනය සංවර්ධන මණ්ඩලය මෙම කරුණු සඳහන් කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම අගෝස්තු මාසයේදී අපනයන ආදායම ඉහළ යාමට හේතුව වී තිබේ.

මෙහිදී අගෝස්තු මාසය සඳහා වන ඇගලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම ඩොලර් මිලියන 565.37ක් ලෙස සටහන්ව ඇත. එසේම තේ අපනයන ආදායම ඩොලර් මිලියන 124.41කි. රබර් ආශ්‍රිත නිෂ්පාදනවල ආදායම ඩොලර් මිලියන 99.83කි.  

මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ඩී ද මෙල් මහතා, මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වැඩි කිරීමට අපනයනකරුවන් දරන උත්සාහයට සුබ පැතුම් එක් කරන බව පවසයි. එසේම මෙම බාධාකාරී තත්වයන් යටතේ වුවද අපනයන කාර්යය පහසු කර ගැනීම සඳහා නොපසුබටව සහය ලබා දීම සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් නියෝජිතායතනවලට ද සභාපතිවරයාසිය ස්තුතිය පුද කරයි.

මේ අතර 2022 ජනවාරි-අගෝස්තු කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,310.05 ක් ලෙස සටහන්ව ඇත. එය 2021 අනුරූප කාල සීමාවට වඩා 5.58% කින් වැඩි වීමක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙහිදී එම සේවා අපනයන ආදායම් තොරතුරු තාක්ෂණ(ICT), ව්‍යාපාර තත්ව කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.

Visits: 85