බුහර්දීන්ගේ අල්මාස් රු. මිලියන 121කට ඒෂියා සියාකා කොමොඩිටීස්හි 10.11%ක් හිමිකරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී (ASIY.N0000) සමාගමෙහි 26,277,939ක කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ අල්මාස් කැපිටල් (පෞද්) සමාගම එක්ව පියවර ගෙන ඇතැයි පවසයි.

අද (සැප්තැම්බර් 22දා) දිනය දක්වා සිදු කළ ගනුදෙනු කිහිපයකම ප්‍රතිඵලයක් ලෙස මෙම අත්පත් කරගැනීම සිදු කළ බව අල්මාස් සමාගම සඳහන් කරයි.

අල්මාස් සමූහය මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් සමාගම් සමූහයකි.

ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගම කොළඹකොටස් හුවමාරුවෙහි විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් යටතේ ලැයිස්තුගතව තිබේ.

ඒෂියා සියාකා කොමොඩිටීස් සමාගම විසින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 260,000,000ක් වන අතර මෙලෙස අල්මාස් සමාගම මගින් මිලදී ගෙන ඇති කොටස් 26,277,939 ප්‍රමාණය ඉන් 10.11%ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර මෙහිදී එක් කොටසක් රුපියල් 4.60ක් බැගින් මිලදී ගැනීම සිදුව ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 121ක් (රු 120,878,519.4ක්) ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව කොටස් 26,277,939ක් හිමි කරගනිමින් අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ අල්මාස් කැපිටල් (පෞද්) සමාගම එහි දෙවැනි වැඩිම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.

පසුගිය සැප්තැම්බර් 06 වැනිදා නිකුත් කෙරුණු මේ වසරේ මාර්තු 31 වැනිදායින් අවසන් වූ  2021/22 මූල්‍ය වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාවට අනුව එම සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් වැඩිම ප්‍රමාණය ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමට හිමිව තිබේ. එය කොටස් 132,678,464ක් වන අතර ප්‍රතිශතයක් ලෙස 51.03%කි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ඒෂියා සියාකා කොමොඩිටීස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 5.10ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 4.50ට සාපේක්ෂව ශත 60ක එනම් 13.33%ක ඉහළ යාමකි.

Visits: 435