අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට ඔස්ට්‍රේලියාවෙන් ලබාදෙන පළමු සහල් තොගය හිමිවෙයි

ඕස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශ්‍රී ලංකාවට මේ වනවිට ලැබී ඇතැයි සඳහන් වෙයි. මෙම තොගය පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත්ම පීඩාවට පත්වූවන් වෙත ඉක්මනින් බෙදා හැරීමට නියමිතය.

සහල් මෙටි්‍රක් ටොන් 600ක මෙම සහල් තොගය සහල්, පරිප්පු සහ ආහාර පිසින තෙල් අඩංගු ආහාර තොගයේ කොටසක් වන අතර ආහාර පරිත්‍යාගයේ ඉතිරි කොටස ළඟදීම දිවයිනට ලඟාවීමට නියමිතව ඇතැයි ලෝක ආහාර වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ඕස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා, “ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක දිගු මිත්‍රත්වයක් පවතින අතර, පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට ලබා දෙන මෙම පරිත්‍යාගය අප දෙරට අතර පවතින හොඳ හිත තවදුරටත් ඉදිරියට ගෙන යයි. මිල වැඩිවීම්, රැකියා අහිමි වීම් සහ ආදායම් අඩුවීමෙන් පීඩා විඳින ජනතාවගේ දිවි රැක ගැනීම සඳහා ආහාර ලබා දීම සඳහා අපි ලෝක ආහාර වැඩපිළිවෙලට (WFP) සහාය ලබා දෙන්නෙමු” යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආහාර අනාරක්‍ෂිතතාවය ඉහළ මට්ටමකට පත්ව ඇති අතර, ලෝක ආහාර වැඩපිළිවෙල මඟින් මෑතකදී සිදුකළ සමීක්‍ෂණයන් පෙන්වා දෙන්නේ හදිසි ආධාර නොලැබුනහොත් ඉදිරි මාස වලදී මෙම තත්වය තවදුරටත් ඉහළ යා හැකි බවය. ජූනි මාසයේදී ලෝක ආහාර වැඩපිළිවෙල මඟින් දියත් කරන ලද හදිසි ආධාර ලබාදීමේ ප්‍රතිචාරය යටතේ, දැඩි ලෙස අවදානමට ලක්ව සිටින මිලියන 3.4 ජනතාවට උපකාර කිරීමට අරමුණු කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන ලෝක ආහාර වැඩපිළිවෙලහි ශ්‍රී ලංකා නියෝජිත සහ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ අබ්දුර් රහීම් සිද්දිකී මහතා, “ලෝක ආහාර වැඩපිළිවෙලහි හදිසි ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පළමුවෙන්ම දායකත්වය ලබා දුන්නේ ඕස්ටේ්‍රලියාව වන අතර, එමඟින් පවතින අර්බුදයෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින්නන්ට බොහෝ ආධාර ලබා දීමට අපට හැකිවිය” යනුවෙන් පැවසීය.

එසේම ඕස්ටේ්‍රලියාවේ මෙම නොමසුරු පරිත්‍යාගය හරහා ගැබිණි සහ මව්කිරි ලබාදෙන මව්වරුන් සහ පාසල් ළමුන් ඇතුළු වඩාත් අවදානමට ලක්වී සිටින අය සඳහා මුදල් සහ ආහාර ද්‍රව්‍ය ආධාර ලබා දීමට හැකි බවත් ඔහු සඳහන් කරයි.

Visits: 65