බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ‘Commonwealth Connections’ අවසානයේ ක්‍රීඩා හා කලා උළෙලක්

බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ ‘Commonwealth Connections’ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. ඒ නිමිත්තෙන් 2022 අගෝස්තු 10 සහ 11 දෙදින තුළ පේරාදෙණිය ගන්නොරුව රණබිම රාජකීය විද්‍යාලයේදී ක්‍රීඩා හා කලා උළෙලක්‌ පවත්වන ලදි.

අධ්‍යාපන අමාත්‍යංශයේ හා බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වූහ. ‘Commonwealth Connections’ යනු ජාත්‍යන්තර මට්ටමින් වසරක් පුරා ක්‍රියාවට නැංවූ වැඩසටහනක් වන අතර, එහි සමාප්තිය නිමිත්තෙන් පැවති මෙම වැඩසටහනට ශ්‍රී ලාංකික සංස්කෘතිය නිරූපණය කරන විශේෂාංග රැසක් ඇතුළත් වී තිබිණි.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමිත්තෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ ‘Birmingham Organising Committee’ එක්ව සංවිධානය කළ ‘Commonwealth Connections’ වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ, පොදුරාජ්‍ය මණ්ඩලයීය වටිනාකම් පාදක කරගනිමින් ලොව පුරා සිසු පරපුර අතර ක්‍රීඩාව, කලාව, පුරවැසිභාවය හා සංස්කෘතිය යනාදිය සම්බන්ධයෙන් අර්ථවත් සම්බන්ධතා ගොඩනැංවීම ය. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ‘වෙස්ට් මිඩ්ලන්ඩ්ස්’ (West Midlands) හි පාසල් 60 ක් කැරිබියන් කලාපය, උප-සහරා අප්‍රිකාව සහ දකුණු ආසියාව යන කලාප වල පාසල් සමග සම්බන්ධ කරන ලදි.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරාගන්නා ලද්දේ මධ්‍යම පළාතේ පමුණුව ප්‍රාථමික විද්‍යාලය, හේමමාලි බාලිකා විද්‍යාලය, රණබිම රාජකීය විද්‍යාලය, කොටගල්ඔලුව ශ්‍රී ජිනරතන කනිෂ්ට විද්‍යාලය, ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (ප්‍රාථමික), සහ බදි-උද්-දින් මහ්මුද් බාලිකා විද්‍යාලය යන පාසල් 6 ය. මෙම පාසල් වල සිසු සිසුවියන්ට 2021 වසරේ ජූලි මාසයේ සිටම මෙම වැඩසටහන සමග සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. ජනවාරි මාසයේ පැවති ‘Queen’s Baton Relay’, පෙබරවාරි මාසයේදී පැවති ‘Commonwealth Connections’ ජනමාධ්‍ය දොරට වැඩුම, මාර්තු මාසයේදී පැවති එක්සත් රාජධානියේ මහ කොමසාරිස් හමුව, සහ අගෝස්තු මාසයේදී පැවති කලා හා ක්‍රීඩා උළෙල මේ අතරින් ප්‍රධාන තැනක් ගනී. වැඩසටහන පැවති කාලය පුරා සංවිධානය කරන ලද සියලුම ඉසව් අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කරන ලද අතර, එමගින් ශ්‍රී ලංකාවේ සහ බර්මිංහැම් හි සිසු සිසුවියන්ට අදහස් හුවමාරු කරගැනීමටත්, සංස්කෘතික ක්‍රියාකාරකම් වලට දායක වීමටත්, එකිනෙකා සමග සම්බන්ධ වී කටයුතු කිරීමටත් අවස්ථාව උදා විය.

අගෝස්තු 10 දින පැවති කලා උළෙලේදී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන්ට තම කලා ව්‍යාපෘති එකිනෙකාට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලදි. ශ්‍රී ලාංකික සිසුන්ගේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් සාම්ප්‍රදායික උඩරට සහ ජන නර්තන සම්ප්‍රදායන් පදනම් කරගෙන පිළියෙල කර තිබූ අතර, ඔවුහු තම පාසල් සමීපයේ පිහිටි පැරණි පන්සල්, රක්ෂිත වනාන්තර සහ උද්භිද උද්‍යාන ආදියද චිත්‍රයට නගා ප්‍රදර්ශනය කළහ. මෙහිදී ‘ඩඩ්ලි’ (Dudley) හි සිසුහු, සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලින් නිර්මාණය කළ නෙදර්ටන් නැංගුරමේ (ටයිටැනික් නැංගුරමේ අනුරුවකි) ආකෘතියක් ප්‍රදර්ශනය කළහ.

අගෝස්තු 11 දින පැවති ක්‍රීඩා උළෙලේදී, ශ්‍රී ලාංකික සිසුන් විසින් තම විදේශීය මිතුරු මිතුරියන් වෙත එල්ලේ ක්‍රීඩාව හඳුන්වා දෙන ලදි. එල්ලේ ක්‍රීඩාවේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඔස්සේ මෙය සිදුකෙරිණි. එමෙන්ම මෙරට අවුරුදු ක්‍රීඩා සහ සාම්ප්‍රදායික ආත්මාරක්ෂක සටන් කලාවක් වන අංගම්පොර පිළිබඳවද මෙහිදී ඩඩ්ලි හි සිසුන් දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික සිසුහු කටයුතු කළහ.

“කලාව, ක්‍රීඩාව සහ පුරවැසිභාවය සම්බන්ධ වැඩසටහන් මාලාවක් සඳහා එක්ව වැඩ කිරීමට අවස්ථාව සලසා දීම තුළින්, ශ්‍රී ලංකාවේ මහනුවර සහ එක්සත් රාජධානියේ ඩඩ්ලි (වෙස්ට් මිඩ්ලන්ඩ්ස්) පාසල් 6 ක් අතර ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාවන් ගොඩනැංවීමට ‘Commonwealth Connections’ වැඩසටහන සමත් වුණා. මෙය ළමා පරපුරට පොදු රාජ්‍ය මණ්ඩලය සහ එහි පොදු වටිනාකම් පිළිබඳව දැනුවත් වීමට ලැබුණු අගනා අවස්ථාවක්. විවිධත්වය, ස්ත්‍රී පුරුෂ සමානත්වය, ලොව විවිධ රටවල පවතින එකිනෙකට වෙනස් වෙනස් ආකල්ප ආදිය පිළිබඳව මෙන්ම එකිනෙකාට ගරුකිරීමේ වැදගත්කම පිළිබඳව ඉගෙන ගැනීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව ලැබුණා.” ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂිකා මාර්යා රෙහ්මාන් මහත්මිය පැවසුවා ය.

Visits: 39