රුහුණු මහා කතරගම දේවාලයෙන් විදෙස් සංචාරකයන් සඳහා නවතම ප්රාවාහන පහසුකමක් හඳුන්වා දෙයි

රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණෙන විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් එම පරිශ්‍රය ආශ්‍රිතව සංචාරක ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට එම දේවාලයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන ඇතැයි පවසයි.

ඒ අනුව පරිසර හිතකාමී ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක රථයක් යොදා ගනිමින් මෙම සේවාව (Electric Cart Tour) සැලසීමට පියවර ගෙන තිබේ. මෙම සතියේදී එම සේවාව ආරම්භ කෙරුණු බව ‘ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා‘ සිදුකළ විමසුමකට පිළිතුරු දුන් එම කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙහිදී කිරි වෙහෙරේ සිට රුහුණු මහා කතරගම දේවාලයේ දොරටුව දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වෙයි.  

මූලිකවම විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම සේවාව සඳහා ගාස්තු අය කිරීමක්ද සිදු වෙයි. එහිදී සංචාරක කණ්ඩායමක් ලෙස පැමිණෙන 7 දෙනෙකුගෙන් යුත් පිරිසකට (සංචාරක මඟ පෙන්වන්නාද ඇතුළුව) එක් සංචාරයක් සඳහා අය කිරීම ඩොලර් 50කි.

මීට අමතරව තනි තනිව පැමිණෙන සංචාරකයන්ටත් ඩොලර් 10ක ගාස්තුවක් ගෙවා මෙම රථයේ නැගී තවත් සංචාරකයන් කිහිප දෙනෙකු සමගින් සංචාරය කිරීමේ අවස්ථාව හිමි වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රුහුණු මහා කතරගම දේවාලයේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකයෙකු, “අද වෙන කොට රටේ ප්‍රධානතම අවශ්‍යතාවක් වෙලා තිබෙන ඩොලර් උපයා ගැනීමේ තවත් පියවරක් විදියට තමයි මේ Electric Cart Tour සේවාව සංචාරකයන් සඳහා හඳුන්වා දෙන්නේ. මේ පැමිණෙන සංචාරකයන් සඳහා වඩාත් පහසුවෙන් කල් ගත කිරීමට අවශ්‍ය ආසන පහසුකම්ද දේවාලයේ පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අපි සකස් කර දී තිබෙනවා. ඒ වගේම අපේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කාර්යාලයක්ද එහි පිහිටුවා තිබෙනවා.” යනුවෙන් පවසා සිටියි.

මෙම සංචාරක පහසුකම පිළිබඳ වැඩිදුර තොරතුරු 0765 500500 හෝ 047 2235122 යන දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

Visits: 111