හැරීගේ බලංගොඩ ප්ලාන්ටේෂන්ස් වෙතින් රුපියල් බිලියන 2ක් වටිනා හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම (BALA.N0000) හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. අද (13දා) දිනයේදී එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ඒ සඳහා වන අනුමැතිය  හිමිව තිබේ.

අද වනවිට බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් ලබා ගෙන ඇති අන්තර් සමාගම් ණය පියවීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි. ඒ හරහා එම ණය සම්බන්ධයෙන් ගෙවියයුතු පොලිය අඩු කර ගැනීම අරමුණ වී තිබේ. වර්තමානයේදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 350,000,010කි.

මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි සාමාන්‍ය කොටසක් සඳහාම අලුතින් තවත් එක් සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් හිමිවන ලෙස මෙම හිමිකම් නිකුතුව සිදු කෙරෙන බව බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී නිකුත් කෙරෙන සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 23,636,363කි. මෙම නිකුතුවේදී එක් කොටසක් රුපියල් 85ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2ක් (2,009,090,855ක්) ලෙස ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් සමාගමේ කොටස් අතර විශේෂිත හිමිකමක් සහිතව ඇති මහාභාණ්ඩාගාරයේ ලේකම්වරයාට අයත් ස්වර්ණමය කොටස ඊට ඇතුළත්  නොවන බවත් සමාගම පවසයි.

ඒ අනුව මෙම නිකුතුවෙන් අනතුරුව රැස් කරගන්නා රුපියල් බිලියන 2ත් සමගින් සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ආසන්න වශයෙන් රුපියල් බිලියන 2.4ක් බවට පත්වෙයි.

මේ අතර අදාළ හිමිකම් කොටස් නිකුතුව සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය මෙන්ම, සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක්ද අවශ්‍යව ඇතැයි බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

සමාගම මගින් මේ වසරේ අගෝස්තු 10 වැනිදා නිකුත් කළ අතරමැදි මූල්‍ය ප්‍රකාශනයට අනුව 2022 ජූනි 30 වැනිදා වනවිට බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම නිකුත් කර ඇති 23,636,363 ක් පමණ වන සමස්ත කොටස් අතරින් කොටස් 13,853,663ක හිමිකාරීත්වය සුප්‍රසිද්ධ ව්‍යපාරික හැරී ජයවර්ධන මහතාට අයත් මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමට අයත් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 58.612%කි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 109.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 131.50ට සාපේක්ෂව රුපියල් 22ක එනම් 16.73%ක පහත වැටීමකි.

Visits: 204