ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන පහළ බැසීමක් වාර්තා කර තිබේ. බොරතෙල් සඳහා වන ඉල්ලුම පහත වැටීම මේ සඳහා හේතුව වී ඇතැයි පැවසෙයි.

ඒ අනුව මෙරට වේලාවෙන් පස්වරු 12.30 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 95.11ක් දක්වාත්, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.01ක් දක්වාත් පහත වැටී තිබේ.

මෙහිදී මූලිකවම චීනය අලුතින් පැනවූ COVID-19 ලොක්ඩවුන් සීමා නිසා හේතු වී තිබේ. චීනයේ කොවිඩ්-19 වසංගතය ශුන්‍ය මට්ටමට ගෙන ඒමේ ප්‍රතිපත්තිය යටතේ මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී අද දිනයේ සිට මිලියන 21ක් වාසය කරන චෙන්ග්ඩු නගරය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් තත්ත්වයටපත් කර දැවැන්ත COVID-19 පරීක්ෂාවන් ආරම්භ කර තිබේ.

එසේම G7 රාජ්‍යයන්හි මුදල් අමාත්‍යවරුන් අද දිනයේදී රැස්වී රුසියානු ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇති අතර, එයද මෙලෙස බොරතෙල් මිල පහත වැටීමට හේතුවක් වී තිබේ.

මේ අතර මෙරට ඛනිජ තෙල් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍රය යටතේ අද දිනයේදී ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමක් සිදුවීමටද නියමිතව තිබේ.

Visits: 182