IMF ණය පහසුකම අනුමතවීමත් සමග කොටස් වෙළෙඳ පොළත් ඉහළට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන  2.9ක විස්තීරණ අරමුදල් පහසුකමක් අනුමත කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගින්ම කොළඹ කොටස් හුවමාරුව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භවූ පෙරවරු 10.30 සිට මුල් පැය භාගයක් ගත වූ අවස්ථාවේදී මන්දගාමී ලෙස පැවැති කොටස් හුවමාරුවෙහි දර්ශක අගයක් පැයකට පසුව මෙලෙස ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

මෙහිදී පෙරවරු 11.30 වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 9,309.95ක් දක්වා ඒකක 238.63කින් ඉහළ ගොස් තිබුණි. එය පෙර දිනයට සාපේක්ෂව 2.63%ක වර්ධනයකි.

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයත් ඒකක 3,024.78ක් දක්වා ඒකක 95.81කින් ඉහළ නැගි අතර, එය පෙර දිනයට සාපේක්ෂව 3.27%ක වර්ධනයකි.

Visits: 112