හුන්නස් ෆෝල්ස් හෝටලය අලුත්වැඩියා කර ජාත්‍යන්තර කළමනාකරණ සමාගමකට පැවරීමට අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හුන්නස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම යටතේ පවතින මහනුවර පිහිටි හුන්නස් ෆෝල්ස් හෝටලය පූර්ණ අලුත්වැඩියාවකට ලක් කරමින්, එහි කළමනාකාරීත්වය ජාත්‍යන්තර සමාගමක් වෙත පැවරීමට තීරණය කළ බව එම සමාගම පවසයි.

අද දිනයේදී පැවැත්වුණු හුන්නස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගත් බව එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී සිටියි.

“හුන්නස් ෆෝල්ස් හෝටලය නවීනතම සුඛෝපභෝගී ප්‍රමිතීන් යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීම සහ ඉන් අනතුරුව, එහි දේපළ කළමනාකරණය සඳහා ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනයක් වෙත පැවරීමේ සාකච්ඡා සහ එකඟතාවන් සඳහා වන ගැටලු නිරාකරණය අද රැස් වුණු අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී සිදු කෙරිණා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

විශේෂයෙන්ම මේ වසරට සපිරෙන හුන්නස් ෆෝල්ස් හෝටලය ඉදි කර වසර 50ක් සැමරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් සමාගම පවසයි. 1972 වසරේදී මෙම හුන්නස් ෆෝල්ස් හෝටලය ඉදි කෙරී ඇත.

2019 වසර වන විට හෝටලයේ හිමිකාරීත්වය හේලීස් සමූහයට අයත් අමායා හොටේල්ස් වෙත හිමිව තිබුණි. අනතුරුව හෝටලය අයත් හුන්නස් හොටේල්ස් පීඑල්සී සමාගමේ කොටස් 81.09%ක හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට සෙරෙනිටි ලේක් ලෙෂර් ලිමිටඩ් සමාගම සමත්වීමත් සමගම හෝටලය එම සමාගම යටතට පත්විය.

මෙතෙක් හුන්නස් ෆෝල්ස් හොටෙල්ස් පීඑල්සී ලෙස පැවැති එම සමාගමේ නම මේ වසරේ පෙබරවාරි මාසයේ සිට හුන්නස් හෝල්ඩිංග්ස් පීඑල්සී ලෙස වෙනස් කිරීමක් සිදු වුණු අතර, අප්‍රේල් මාසයේදී කොටස් අතුරු බෙදීමක්ද සිදු විය.

මේ අතර ජපාන ආයෝජකයෙකු වන යොෂිමිචි වටනාබේ මෙම අගෝස්තු 09 වැනිදා සහ 16 වැනිදා පිළිවෙලින් හුන්නස් හෝල්ඩිංග්ස්හි කොටස් 625,000ක් සහ 1,368,750ක්, කොටසක් රුපියල් 40 බැගින් මිලදී ගැනීම සිදු විය. ඒ අනුව මේ වනවිට ඔහු සතුව ඇති කොටස් සංඛ්‍යාව 1,993,750ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 0.23%කි. ඔහු මිලදී ගත්තේ සෙරනිටි ලේක් ලෙෂර් ලිමිටඩ් සමාගම අලෙවි කළ කොටස් කිහිපයකි.

Visits: 352