ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණදෙන අර්බුදකාරී තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ළමුන් මුහුණදෙන අතිශය දරුණු අර්බුදකාරී තත්වය දකුණු ආසියාවටම කෙරෙන අනතුරු ඇඟවීමක් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ් සංවිධානය) දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි පවසයි.

සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කර සිටියේය. මෙම සංචාරයේදී කලාපීය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ හඳුනාගත් පාසැල් සහ රෝහල් කිහිපයක් වෙතම ගොස් ඒවා තුළ දරුවන් සඳහා වන පහසුකම් නිරීක්ෂණයේ යෙදී තිබේ. එසේම ඒ මහතා මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම අගමැතිවරයාද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ඒ අනුව මෙහිදී මූලිකවම පවතින ආර්ථික අර්බුදය මඟින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොටගෙන, අතිශයදරිද්‍රතාවයෙන් පෙළෙන වඩාත් අවදානමට ලක්විය හැකි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමට ලක්වී සිටින බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ශ්‍රීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ දිනෙන් දින දියුණුවන සංචාරක කර්මාන්තයක් හිමි රටක් ලෙස පොදුවේ හඳුනාගෙන තිබෙන ශ්‍රී ලංකාව, 1948 දී නිදහස ලබාගැනීමෙන් අනතුරුව වඩාත් දරුණුතම ආර්ථික අර්බුදයකට වර්තමානයේ මුහුණදෙමින් සිටී. ආහාර මිළදී ගැනීමේ හැකියාව නොමැතිවීම නිසා පවුල්, ඔවුන්ගේ එදිනෙදා නිතිපතා ගනුලබන ආහාරවේල් අත්හරිමින් සිටින බව කලාපීය අධ්‍යක්ෂවරයා මෙහිදී පවසා සිටියි.

“දකුණු ආසියාවේ වැඩියෙන්ම දරුණු මන්දපෝෂණ තත්වයන් දැක්වෙන 2 වන රටවූ ශ්‍රී ලංකාවේ ළමයි මීළඟ ආහාරවේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යනවා.”

ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුට දැනටමත් යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක් පවතී. ළමුන් මිලියන 4.8 ක ගේ අධ්‍යාපනය වසර දෙකක් පුරා පැවැති විවිධවූ බාධාවන් නිසා අඩාල වූ අතර අඛණ්ඩව පාසලට පැමිණීමට අසමත්වීම නිසා වඩාත් අවදානමට පත්වී ඇතැයිද යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

එසේම දිනෙන් දින ඉහළයන ආර්ථික පීඩාකාරී තත්වය හමුවේ ළමුන් අපයෝජනයට පත්වීම, සූරාකෑමට ලක්වීම සහ ළමුන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් පිළිබඳ වාර්තාවීම් වැඩිවෙමින් පවතින බවත් එම සංවිධානය සඳහන් කරයි.

“ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ ළමයි 10,000 කට අධික සංඛ්‍යාවක් ළමා ආරක්ෂණ ආයතනවල රැකවරණය ලබනවා. මෙවැනි ආයතනවල පවුලකින් ලැබෙන සුරක්ෂිතතාවය, බැඳීම නොමැති නිසා ඒවායෙහි ළමුන්ට හැදී වැඩීමට සුදුසු පරිසරයක් නැහැ. අවාසනාවකට මෙන් දැනට පවත්නා ආර්ථික අර්බුදය නිසා අවශ්‍ය ආහාර ද ඇතුළුව ළමුන්ගේ අවශ්‍යතා සපුරා ලීමට නොහැකි නිසා පවුල් වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ළමුන් මෙවැනි ආයතන කරා යොමු කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.”

මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත්, ළමුන් සම්බන්ධයෙන් මහත් දුෂ්කරතා මධ්‍යයේ දැනට ලබාගෙන තිබෙන ප්‍රගතිය පසුබැසීමේ අවදානමක් මතුවී ඇති අතර, සමහර අවස්ථාවන්හිදී මෙය සම්පූර්ණයෙන් ස්ථිරවම වියැකී යා හැකි බවත් යුනිසෙෆ් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි, “එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ශ්‍රී ලංකාවේ වසර 50 කට අධික කාලයක් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව අපි පොත්පත් /ලිපිද්‍රව්‍ය ලබාදීම, පෙරපාසල් ළමුන්ට ආහාර ලබාදීම සහ අතිශයින් සහාය අවශ්‍ය ගැබිණි මාතාවන්ට සහ මව්කිරි ලබාදෙන මව්වරුන්ට මුල්‍ය ආධාර ලබාදීම සිදු කර තිබෙනවා. “නමුත් මෙම අර්බුදය දිගටම පවතින නිසා තව තවත් මේ සම්බන්ඳව කටයුතු කිරීම අවශ්‍යයි.” යනුවෙන් අවධාරණය කරයි.

විශේෂයෙන්ම මෙම අර්බුදය විසඳාගැනීමට ශ්‍රි ලංකාව ප්‍රයත්න දැරීමේදී එම විසඳුමේ ප්‍රධාන ස්ථානයක් ළමුන්ට ලබාදිය යුතු බවද මෙහිදී සඳහන් වෙයි. සියලුම වයස් සීමාවන්හි පිරිමි සහ ගැහැණු ළමුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය අනිවාර්යයෙන් තහවුරු කළ යුතු අතර එමඟින් ඔවුන් අනාගතයට සූදානම්වීමත්; ළමා ශ්‍රමිකයින් බවට පත්වීම, සූරාකෑමට ලක්වීම සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යනාදියෙන් ආරක්ෂාවීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනු ඇත.

එසේම ජීවිත අවදානමට පත් කරන්නාවූ රෝගවලින් සහ මන්දපෝෂණයෙන් ළමුන් සහ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම සහ ප්‍රජා සෞඛ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතුව ඇතැයිද යුනිසෙෆ් සංවිධානය පවසා සිටියි.

“ශ්‍රී ලංකාවේ මම අත්දකින ලද තත්වය අනෙකුත් දකුණු ආසියානු රටවලටද අනතුරු ඇඟවීමක්. දැනටමත් ලෝකයේ අතිශයින් දරිද්‍රතාවයට ලක්වී සිටින පුද්ගලයින්ගෙන් පහෙන් එකක් වාසය කරන සහ නොයෙකුත් දුෂ්කරතා සහ අසමානතාවයන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ ඇතිවී තිබෙන දරුණු ආර්ථික අවපාතය මඟින් ළමුන්ගේ සෞඛ්‍යයට, ඉගෙනීමට, ආරක්ෂාවට සහ ජීවිතවලට දැඩි තර්ජනයක් ඇති වෙනවා.” කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි සඳහන් කරයි.

ඒ අනුව ලෝකයේ ආර්ථිකය කඩාවැටීමේ අයහපත් බලපෑම් වලින් ළමුන් ආරක්ෂා කරගැනීමට දැන් පියවර නොගතහොත් ලෝකයේ වඩාත්ම වැඩි ජනගහනයක් දක්නට ලැබෙන කලාපයේ ළමුන් තවදුරටත් දරිද්‍රතාවයට පත්වන බවත්, ඔවුන්ට සෞඛ්‍ය, පෝෂණය, ඉගෙනීම සහ ආරක්ෂාව අහිමිවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

“තමන් විසින් ඇති නොකළ ආර්ථික අර්බුදයකින් ළමුන්ට පීඩා විදීමට අපට ඉඩදිය නොහැකියි. ඔවුන්ගේ මතු අනාගතයන් සුරැකීමට අප අදම ක්‍රියාත්මක විය යුතුයි.” කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි අවසන් වශයෙන් අවධාරණය කරයි.

Visits: 98