කප්රුක ඇරඹීමට සිටි Soldout.lk අත්හිටුවයි – පර්සනල් කාර්ගෝ සේවාවක් ඇරඹීමට යයි

මෙරට තුළ අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම  soldout.lk නමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ භාවිතා කළ භාණ්ඩ අලෙවි කිරීමේ වෙළෙඳ පොළ ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කළ බව පවසයි.

අද (23දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගමේ සභාපති දුලිත් හේරත් මහතා මේ බව පවසා සිටියි.

පසුගිය වසරේ එම සමාගම සිදු කළ සිය මූලික මහජන කොටස් නිකුතුවට (IPO) අදාළව දෙසැම්බර් 14 වැනිදා එළිදැක්වුණු සංස්ථා ප්‍රකාශයෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් හුවමාරුව දැනුවත් කරමින් මෙම ලිපිය එවා තිබේ.

ඒ අනුව මෙම සංස්ථා ප්‍රකාශය තුළ සටහන් වූ ආකාරයට අදාළ මූලික මහජන කොටස් නිකුතුව මගින් රැස් කරගන්නා රුපියල් මිලියන 100ක අරමුදල මගින් සිදු කිරීමට සැලසුම්කර තිබූ කාරණා අතරින් දෙවැන්න මෙම soldout.lk ව්‍යාපෘතිය බව සභාපතිවරයා පවසයි.

එහිදී භාවිතා කළ භාණ්ඩ සම්බන්ධයෙන් ගැනුම්කරුවන් සහ අලෙවිකරුවන් සම්බන්ධ කරමින්, නිවෙස් වෙතටම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පහසුකම්ද සලසා දෙමින් මෙම කටයුතු සැලසුම් කර තිබී ඇත. ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස්වුණුමුදලින් රුපියල් මිලියන 50ක් ආයෝජනය කර මෙම ව්‍යාපාර ඒකකය කප්රුක ඉ-කොමර්ස් (පෞද්) සමාගම යටතේ ආරම්භ කිරීම සැලසුම වූ බව සභාපතිවරයා සඳහන් කරයි.

“අනතුරුව එය තනි ව්‍යාපාරයක් බවට පත් කිරීමත් සැලසුම වී තිබුණා. සංස්ථා ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයට 2022 දෙවැනි කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය 20224 දෙවැනි කාර්තුවේදී සම්පූර්ණ කිරීමත් සැලසුම වුණා.” යනුවෙන්ද ඔහු පවසයි.

කෙසේ වෙතත් වර්තමානයේදී පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් පරිසරය හා සැලකීමේදී මෙම ව්‍යාපෘතිය අර්ථශුන්‍ය සහ ආකර්ෂණයෙන් තොර ව්‍යාපෘතියක් බව හඳුනාගත් බව මෙම ලිපියේ සඳහන් වෙයි.

“රට තුළ අලුතින් පැනවූ ආනයන සීමා කිරීම් නිසා රට තුළ මෙවැනි භාවිතා කළ භාණ්ඩසඳහා වන වෙළෙඳ පොළක් ඇති වීමේ අවස්ථාව පහත දැමුවා. ඒ වගේම මෙවැනි භාණ්ඩ අලෙවි කිරීමේදී ෆේස්බුක් සමූහ වැනි සමාජ මාධ්‍ය වෙත වැඩි ඉඩක් වෙන් වුණා.” එහි සඳහන්ව තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම එම ව්‍යාපෘතිය මේ දක්වාම ආරම්භ නොකෙරෙනු බවත්, ඒ සඳහා වෙන් කළ රුපියල් මිලියන 50ක මුදල භාවිතා කිරීමකින් තොරව පවතින බවත්, එම මුදල් වෙනත් ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට තීරණය කළ බවත් සභාපතිවරයා මෙහිදී පවසා සිටියි.

ඒ අනුව ශ්‍රී ලාංකික ඩයස්පෝරාව තමන් පදිංචි රටවල සිට මෙරට සිටින සිය පවුල්වල ඥාතීන් වෙත එවීමට අදහස් කරගෙන සිටින ඇඳුම්, වියළි ආහාර, තෑගි භාණ්ඩ යනාදිය භාරගෙන ගෙනැවිත් භාරදීමේ සේවාවක් (Personal Cargo Collection and Delivery) ආරම්භ කරන බව සමාගම පවසයි.

වර්තමානයේදී මෙම සේවාව ලබා දෙන සේවා සම්පාදකයන් දොරින් දොරට ගොස් එම සේවාව ලබා නොදීම හේතුවෙන් සහ ඒ සඳහා කප්රුක සතු තාක්ෂණය හේතුවෙන් එම කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළකරයි.

“ඒ වගේම කප්රුක යනු ඉතාමත් හොඳ භාණ්ඩ ඩිලිවරි සේවා සම්පාදකයෙකු ලෙස ලංකාවෙන් පිටත ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිතව පැවතීමත් නිසා මෙම පෞද්ගලික කාර්ගෝ ඩිලිවරි ව්‍යාපාරය කප්රුක වෙත හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කරාවි.”

මෙහිදී අදාළ රුපියල් මිලියන 50ක මුදල ඉහළ ඩයස්පෝරාවක් වෙසෙන ඔස්ට්‍රේලියාව, මැදපෙරදිග, උතුරු ඇමෙරිකාව සහ යුරෝපය යන කලාප තුළ සිය අලෙවිකරණය සහ හවුල්කාර ජාල සංවර්ධනය වෙනුවෙන් යොදවනු ඇති බවත්, මෙම ව්‍යාපෘතිය හරහා 100%ක්ම විදේශ මුදල් ආදායමක් උත්පාදනය කරනු ඇති බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙම සඳහන් කළ ව්‍යාපෘතිය සඳහා එම මුදල් යෙදවීම 2022 තෙවැනි කාර්තුවේ සිට සිදු කරන බවත්, එහි වැඩිදියුණුව සහ වැඩ අවසන් කිරීම 2023 තෙවැනි කාර්තුවේදී පමණ බලාපාරොත්තු වන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියි.

එසේම මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සමාගමේ ප්‍රාග්ධනය වෙත කිසිදු ආකාරය වෙනසක් සිදු නොවන බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගත් මුදල් අතරින් කොටසක් සිදු කිරීමට සැලසුම් කර තිබූ සිය සමාගමේ දැනට පවතින තාක්ෂණ සහ යටිතල පහසුකම් යාවත්කාලීන කිරීමේ කටයුතු 2022 පළමු කාර්තුවේදී ආරම්භ කෙරුණු බවත් එහි කටයුතු මේ වනවිට සාර්ථකව පවත්වාගෙන යන බවත් සභාපතිවරයා පවසයි.

එසේම මෙහිදී SAP හෝ Oracal ERP සහ WMS (Warehouse Management Syetem) තාක්ෂණයක් මිලදී ගැනීමට මූලික අදහසක පැවතියත්, එම තාක්ෂණයක්  ඕපන්-සෝස් මෘදුකාංගයක් හරහා සමාගම තුළම සංවර්ධනය කරගැනීමට හැකියාව ලැබීම නිසා සමාගමට රුපියල් මිලියන 30ක් ඉතිරි කරගැනීමට හැකි වුණු බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා යෙදීමට අපේක්ෂා කළ එහෙත් නොයෙදවූ එම මුදල් යොදා ගනිමින් සමාගම මිරිහානේදී අලුතින් ඉදිකළ ගබඩා පරිශ්‍රය වෙත සූර්ය පැනල පද්ධතියක් ස්ථාපිත කිරිමට සහ අමතර ගබඩා රාක්ක සහ ගබඩා උපකරණ පිහිටුවීමක් සිදුකළ බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 134