එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගිනිගැනීමෙන් අපවිත්‍ර වූ වෙරළ පිරිසිදු කිරීමට කෝටි 09ක් වැයවෙලා

මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන මුහුදුබත්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් (M.V Express Pearl) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත් කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වනවිට රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක (903,857,293.01) මුදලක් වැයවී ඇතැයි වාර්තා වෙයි.

අද (23දා) පෙරවරුවේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය මේ බව අනාවරණය කර තිබේ.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (23) මෙම හමුව පැවැත්වුණි.

ඒ අනුව මුහුදුබත්වූ එම නෞකාවේ බහාලුම්වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදුකිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයිද සභාපතිනිය මෙහිදී පවසා තිබේ.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත්කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය එහිදී සඳහන් කළාය.

මෙම හමුවේදී අදහස් දක්වා ඇති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යංශයේ සහය ලබාගනිමින් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන මුහුදු බත්වීමෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ විනාශයන්ට අදාළ වන්දි කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය උපදෙස් දී ඇත.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිණි ගෙන මුහුදුබත් වූයේ පසුගිය 2021 වසරේ ජුනි මස 02 වැනිදාය.

නෞකාවේ ගබඩාකර තිබූ නයිට්‍රික් අම්ල හේතුවෙන් මෙම ගිණි ගැනීම සිදුවූ අතර නැව මුහුදු බත්වීමට පෙර ඇතිවූ පිපිරීමක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486 න් යම් ප්‍රමාණයක් මුහුදට වැටුණි. මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746 ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මීගමුව කළපුව ආශ්‍රීත ප්‍රදේශයට, මීගමුව වෙරළ තීරයට සහ පමුණුගම සක්කු කන්ද වෙරළ කලාපයටය.

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍රවූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මස 20 වැනිදා සිට මේ දක්වා සිදු කරනු ලබයි. මේ වනවිට ස්ථාන 2723 කදී එම පිරිසිදු කිරීම් කටයුතු සිදුවන අතර එමඟින් කිලෝමීටර 746 ක දුර ප්‍රමණයක් ආවරණය කරනු ලබයි. 

මෙම හමුව සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා ක්‍රියාවලි පීඨයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

Visits: 59