රේනුකා සිටි හොටේල්ස් වෙතින් කොටසකට රුපියල් 2.00 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත රේනුකා සිටි හොටේල්ස් පීඑල්සී සමාගම (RENU.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 2.00ක් බැගින් හිමි වන ලෙස මෙම ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසත් සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස සැප්තැම්බර් 08 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස අගෝස්තු 19 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

අද දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රේනුකා සිටි හොටේල්ස් පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 303.25ක් ලෙස සටහන් විය. එය පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 305.00 ට සාපේක්ෂව රුපියල් 1.75කින් එනම් 0.57%ක පසුබැසීමකි.

Visits: 73