විදුලි ගාස්තු ඉහළ දැමීමේදී සංචාරක කර්මාන්තයට සහනයක් – ඩොලර්වලින් ගෙවීමේදී 1.5%ක වට්ටමක්

මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් අද (10දා) දිනයේ පටන් අනුමත කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීම යටතේ සංචාරක කර්මාන්තයට විශේෂිත සහනයක් ලබාදී තිබෙන බව පවසයි.

වර්තමානයේදී රටෙහි පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ සංචාරක කර්මාන්තයට එල්ලවී තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙන බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී පටන් ක්‍රියාත්මක වන මෙම 75%ක විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් 50%ක ප්‍රතිශතයක් පමණක් සංචාරක කර්මාන්තයට බලපැවැත්වෙන බවත්, ඉතිරි 50% තවත් මාස තුනකට පසුව එනම් ලබන නොවැම්බර් 10 වැනිදා සිට බවත් හෙතෙම සඳහන් කළේය.

“සංචාරක කර්මාන්තය යම් තත්ත්වයකට පත්වන තුරු දිරිදීමක් සහ සහනයක් වශයෙන් ඉතිරි 50%ක ගාස්තු වැඩිවීම තවත් මාස තුනකට පසුව ක්‍රියාත්මක කෙරෙනවා.”  ඒ මහතා පවසයි.

මේ අතර විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකළ පසුගිය වසර නවයක කාලය තුළදී ඩොලරයේ අගය රුපියට සාපේක්ෂව 150%කින් ඉහළ ගොස් තිබෙන බවත්, ඒ නිසා ඩොලර් ආදායම් ලබන අපනයන සහ සංචාරක ක්ෂේත්‍රවලට මෙම විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් වැඩි බලපෑමක් එල්ල නොවන බවත් සභාපතිවරයා පවසා සිටියේය.

එසේම සිය ආදායමින් 60%කට වඩා ආදායමක් විදේශ විනිමය මගින් උපයන කර්මාන්ත, හෝටල් සහ පොදු  කාර්යය පාරිභෝගිකයන් සිය විදුලි බිල්පත් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මිලදී ගැනීමේ අනුපාතය මත පදනම්ව එක්සත් ජනපද ඩොලර් විනිමය මගින් ගෙවිය යුතු බවත් කොමිෂන් සභාව සඳහන් කරයි. මෙය සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

“ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩොලර් රැස් කරගැනීම එහි අරමුණයි. මෙහිදී සංචාරක මෙන්ම අපනයන කර්මාන්තවලට සහනයක් වශයෙන් අදාළ සමාගම් ඩොලර් මගින් සිදු කරන සිය විදුලිබිල්පත් ගෙවීම වෙනුවෙන් 1.5%ක වට්ටමක් ලබාදීමටත් කොමිෂන් සභාව ලෙස තීරණය කර තිබෙනවා.” සභාපතිවරයා පැවසීය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකරන ලද යෝජනා සලකා බලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 75%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ හරහා ලංකා විදුලි බල මණ්ඩලයට සිය ආදායම රුපියල් බිලියන 500කින් ඉහළ නංවා ගත හැකි වනු ඇති බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි.

Visits: 50