“IMF යෝජනාව හොද හෝ නරක වුවත් අර්බුදයෙන් නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතුයි” – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති “LET’S RESET SRI LANKA” සම්මන්ත්‍රණය අමතමින් ජනපතිවරයා මේ බව පවසා සිටියේය. ඇඩ්වකාටා ආයතනය (Advocata Institute) මගින් මෙම සමුළුව සංවිධානය කර තිබෙන අතර ඊයේ සහ අද දිනයේදී පැවැත් වේ.

ඒ අනුව IMF යෝජනා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බවද ජනපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, “මුලින්ම අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතුයි. දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීමයි. මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතු අතර, පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි.” යනුවෙන් පවසා සිටියේය.

එසේම රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තින් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක් බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව නිසැකවම ඉදිරි මාස 06 තුළදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවත් ඔහු පවසා සිටියේය. එසේම ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පිළිගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් විත්‍රමසිංහ මහතා මෙහිදී සඳහන්කළේය.

“රට මුලින්ම විදේශ ණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම ආසියනු කලාපයේ භූ දේශපාලනයට හසු නොවී ගමන් කළ යුතු වෙනවා.” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී පවසා සිටියේය.

Visits: 104