ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයන් සඳහා ඔන්ලයින් වීසා ක්‍රියාවලියක් අරඹයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ආයෝජකයන් සඳහා ආරම්භ කෙරුණු මාර්ග ගත වීසා නිර්දේශ ක්‍රියාවලිය ස්ථාපිත කිරිම අවසන් කර ඇතැයි පවසයි. එම මණ්ඩලයේ ව්‍යාපාරික කටයුතු ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමේ අවස්ථාවක් ලෙස මෙය සිදු කෙරී තිබේ.

ඒ අනුව මෙම ක්‍රියාවලිය නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවක් ඊයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම මණ්ඩලයේදී සිදු විය.

මෙම ක්‍රියාවලිය ශ්‍රී ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ‘ව්‍යාපාරික කටයුතු කිරීමේ වඩාත් පහසුකම් ඇති (ease of doing business)  රටක් වශයෙන් ජාත්‍යන්තරය තුළ ස්ථානගත කිරීමේ මූලික ක්‍රම උපායමාර්ග සැලසුමේ ප්‍රධානතම අංගයක් බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේ්නතුව හා ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධවී තිබේ.

“ආයෝජකයින්ගේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් වාර්ෂිකව වීසා බලපත්‍ර 7500-8000ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට නිරේදේශ කරන අතර, ඒ සඳහා ආයෝජකයන් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු වෙයි. එම ක්‍රියාවලිය පහසු කරමින් මෙම නව ඔන්ලයින් ක්‍රියාවලිය හඳුන්වා දී තිබේ.” ආයෝජන මණ්ඩලය පවසයි.

මෙම නව ක්‍රමය යටතේ වීසා වර්ග තුනක් සඳහා අවශ්‍ය නිර්දේශයන් ලබා දෙයි. ඒ අනුව මෙරටට ඇතුළුවීමේ වීසා, පදිංචි වීම සඳහා වීසා සහ වීසා බලපත්‍ර දීර්ඝ කර ගැනීම ඊට අයත්ය. මේ තුළින් ආයෝජකයන්ට, සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශ්වයන්ට වීසා අයැදුම් කළ හැකිය.

Visits: 75