“වත්මන් ආර්ථික අසීරුතාව තවත් මාස පහක් පවතීවි” – CSE සභාපති දිල්ෂාන් වීරසේකර

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් හිඟවීම නිසා ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අසීරුතාව තවත් මාස පහත් – හයත් අතර කාලයක් පවතිනු ඇති බවත්, ඉන් අනතුරුව මෙම ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවත් කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දිල්ෂාන් වීරසේකර මහතා පවසයි.

පසුගියදා ජාත්‍යන්තර CNBC නාලිකාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඔහු මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගින් එකඟතාවක් සඳහා වන සාකච්ඡා සාර්ථකව ක්‍රියාත්මක වෙන බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

“අනිවාර්යයෙන්ම මේ ගැටලු වෙනස් කිරීම සඳහා මූලිකම කාරනාව වෙන්නේ ජාත්‍යන්තර මූල්‍යඅරමුදලත් සමගින් ඇති කරගන්නා එකඟතාවයි.මගේ බලාපොරොත්තුවේ හැටියට තවත් සති තුන හතරකින් ඒ කියන්ගේ අගෝස්තු මාසය අගදී අපිට IMF සමගින් නිලධාරී මට්ටමේ එකඟතාවක් ප්‍රකාශයට පත් කරන්නට හැකිවේවි. ඒ වගේම ඉදිරි පුළුල් එකඟතාවන් සඳහා තවත් මාස දෙකක් තුනක් ගත වේවි. ඒ අනුව ලබන දෙසැම්බර් මාසය වන විට මෙම එකඟතාවයට පත්වීමේ අවස්ථාවක් ගැන අපිට හිතන්න පුළුවන්.” යනුවෙන් වීරසේකර මහතා මෙහිදී පවසා තිබේ.

නමුත් දැනට සිදු කෙරී ඇති නිලධාරී මට්ටමේ සාකච්ඡා මෙම ආර්ථික අර්බුදය මඟහැරවීමේදී අතිශය වැදගත් වන බවත්, ඒ හරහා මිත්‍ර රටවල්, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු රටවල් ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබාදීමක් වෙත යොමු වනු ඇතැයිද ඒ මහතා මෙහිදී සඳහන්කර ඇත.

“මම කිව්වා වගේ මේ අසීරුතාවන් තවත් මාස පහත් හයත් අතරකාලයක් පවතීවි.ඊට පස්සේ මේ තත්ත්වයෙන් මඟහැරෙන්න අපිට අවස්ථාවක් තිබෙනවා.“

මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය IMF එකඟතා වෙත කෙසේ බලපාවිද යන්න සම්බන්ධයෙන් CNBC සිදුකළ විමසුමකට අදහස් දක්වා ඇති CSE සභෘපතිවරයා, නව ජනාධිපතිවරයා පත් කරගැනීමේ අවස්තාවේ සිට සියලුම කාරණා ව්‍යවස්ථානුකූලව, නීතියට යටත්ව සිදුව ඇති බවත් පවසා තිබේ.

“මෙය ව්‍යවස්ථානුකූලව ගත් පියවරක්. හැබැයි අපි දන්නවා ජනතාව ඉල්ලන වෙනස මෙය නෙමෙයි. කියලා. ඒත් ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය ඇත්තේ ස්ථාවරත්වයයි.  වත්මන් පාලනය හරහා එය ලැබේවි කියන විශ්වාසය තිබෙනවා. ඒ හරහා තමයි IMF වැඩසටහන වෙත යන්නේ. එය තීරණාත්මකයි. ඒ සියල්ලගෙන් තමයි අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 119