ජූලි මාසයේදී ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙන්නේ ඉන්ධන නෞකා තුනයිලු

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මෙම ජූලි මාසයේදී ලැබිමට නියමිතව ඇත්තේ ඉන්ධන නෞකා තුනක් පමණක් බව එම සංස්ථාවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු පැවසූ බව අද පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

ඒ අනුව රජය විසින් ක්‍රියාත්මක කර ඇති ඉන්ධන බෙදාහැරීමේ දැඩි පාලනය සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම යන කාරණා තවදුරටත් එලෙසින්ම සිදුවනු ඇතැයි සඳහන් වෙයි.

මෙහිදී ලබන ජූලි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළදී ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, ලබන ජූලි 14 – 15දක්වා කාලයේදී බොරතෙල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් පැමිණිමට නියමිතව තිබේ. එසේම ලබන ජූනි 22ක් 23ත් අතර කාලයේදී ඔක්ටේන් 92 පෙ‍ට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණිමට නියමිතව ඇතැයිද එම නිලධාරියා පුවත්පත වෙත පවසා තිබේ.

එම නිලධාරියා සඳහන් කරන ආකාරයට මෙම තත්ත්වයත් සමගින්ම රජයත් දැනට ලංකා අයිඕසී සමාගමසිදු කරන ආකාරයට ඉන්ධන සැපයිම සීමා කරනු ඇති බවත්, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සැපයිමක් සිදු කරනු ඇති බවත් පැවසෙයි.

අද වනවිට ලංකා අයිඕසී ඉන්ධන හල් මගින් කාර් සහ වෑන් සඳහා රුපියල් 7000ක ඉන්ධනද, ත්‍රීවීල් රථ සඳහා රුපියල් 2,500ක ඉන්ධනද යතුරු පැදි සඳහා රුපියල් 1,500ක ඉන්ධනද නිකුත් කරයි.

කෙසේ වෙතත් ලංකාඅයිඹ්සී සමාගම ලබන අගෝස්තු 15 වැනිදා දක්වා කාලය තුළදී මෙට්‍රික් ටොන් 90,000ක පෙට්‍රල් සහ ඩීසල් නෞකා තුනක් බලාපොරොත්තුවෙන් සිටින බවත් පුවත්පත ප වසයි. එහිදී ලබන ජූලි 13ත් 15ත් අතර කාලයේදී පළමු නෞකාවද, ජුලි 29ත් 31ත් අතර දෙවැනි නෞකාවද පැමිණීමට නියමිතව ඇති අතර, තෙවැනි නෞකාව අගෝස්තු 15 වැනිදා හිමිවීමට නියමිතව තිබේ.

මේ අතර මෙරට වෙත ඉන්ධන ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් හරහා ඉදිරිපත් කර තිබූ යෝජනා මගින් තෝරාගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ආසන්න සති කිහිපයේදී එම කටයුතු සාර්ථක කරගැනිමට නොහැකිවී ඇති බවත්, ණයවර ලිපි විවෘත කරගැනීමේ ගැටලුව ඊට හේතුවී ඇති බවත් එම නිලධාරියා පවසා තිබේ.

“මේ තත්ත්වයත් සමගින්ම අපිට සුපුරුදු සැපයුම්කරුවන් වෙත යොමුවීමට සිදුව තිබෙනවා. නමුත් එම සැපයුම්කරුවන් සඳහා ගෙවිය යුතුව ඇති මුදල් සම්බන්දයෙන් වන කාරණා නිරාකරණය කළ යුතුව තිබෙනවා. එහිදී මහ බැංකුව මගින් යම් එකඟතාවකට පැමිණෙමින් එම සැපයුම් පවත්වාගෙන යාමට කටයුතු කරනවා.” යනුවෙන් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ලොව ඉන්ධන සහිත රටවල්වල ක්‍රියාත්මක සමාගම් මගින් මෙරට ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවස්ථාව ලබාදීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාවටද මෙතෙක් කිසිදු සමාගමක් ඉදිරිපත් නොමැති බවත් එම නිලධාරියා පුවත්පත වෙත පවසා තිබේ.

මෙහිදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත අයත් ඉන්ධන හල් 200ත් 300ත් අතර සංඛ්‍යාවක් එම පැමිණෙන සමාගම් වෙත ලබාදීම සැලසුම වී තිබේ. කෙසේ වෙතත් සංස්ථාවේ වෘත්තිය සමිති සංවිධාන ඊට සිය විරෝධය පළ කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී විදුලිබල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ගබඩා පර්යන්තයේ වෘත්තීය සමිති නායකයන් සමගින් සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී මෙම ඉන්ධන නිෂ්පාදන රටවල සමාගම් වෙත මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් රජය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කිරීම් සිදුකළ බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

Visits: 128