අර්බුද මැද ජූලි මාසයේ පළමු ගනුදෙනු දිනයේදීම වෙළෙඳ පොළ ඉහළට

අද (ජූලි 01) දිනයේදී කොළඹ කොටස් හුවාමරුවෙහි ගනුදෙනු අතරතුරදී ලංකා අයිඕසී කොටස් සඳහා පැවැති ආයෝජක උනන්දුව ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිද ප්‍රතිඵලයක් ලෙස දිනය අවසානයේදී වෙළෙඳ පොළ පෙර දිනයට සාපේක්ෂව 1%කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

එසේම දිනය තුළදී තවත් වටිනා සමාගම් කිහිපයකම කොටස් අගයක් ඉහළ යාමක් දැකගත හැකි වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම නව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා මහතා විසින් ගන්නා ලද විදෙස් ආයෝජකයන්ගේ වීසා කල් දිගු කිරීමේ තීන්දුව කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ දැමීමට හේතුව වී තිබේ.

කෙසේ වෙතත් රට තුළ තවදුරටත් පවතින අර්බුදකාරී දේශපාලන සහ ආර්ථික පරිසරය ආයෝජකයන් තවදුරටත් දුර්වල කිරීමට හේතු වී ඇතැයිද එම තැරැව්කාර සමාගම් වැඩිදුරටත් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,320.24ත් ඒකක 7,457.48ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,457.48ක් බවට පත්විය. එය පෙර දිනයට (ජූනි 30) දිනයට සාපේක්ෂව ඒකක 115.15ක් එනම් +1.57%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදුවුණු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ගනුදෙනුවක් දිනයේ පිරිවැටුමෙන් රුපියල් මිලියන 69ක් එනම් 6%ක් සඳහා දායක විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+23.9), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+10.4), සම්පත් බැංකුව SAMP (+8.1), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+7.7), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+7.0), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (-1.6), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-1.3), ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී LMF (-1.1), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-0.9), ද කිංග්ස්බරි පීඑල්සී SERV (-0.8) යනාදී සමාගම්ය.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 46ක මිල ගණන් පහළ ගොස් ඇත.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,380.26ක අගයක් ගත් අතර, එය පෙර දිනට සාපේක්ෂව ඒකක 45.9ක එනම් +1.97%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.43ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ වාර්තා කළ රුපියල් මිලියන 785ට  සාපේක්ෂව 82% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.23ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 41.11%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 8.17ක් ලෙස සටහන් විය. එසේම දිනය තුළ සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 15.04ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 6.86කි. ඒ අනුව වසර තුළ මේ දක්වා පිටතට ගලා ගිය සමස්ත විදේශ ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 1.17 ක් බවට පත්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන  1.75කි. එසේම විකුණුම් යටතේ වැඩිම දායකත්වය හේකාර්බ් පීඑල්සී ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 10.5ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 519ක් සඳහා බලශක්ති අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 36%කි. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 435ක සහ රුපියල් මිලියන 206ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 133