ලෝකයේ වඩාත් ශක්තිමත්ම ඉන්ධන සහ ගෑස් වෙළෙඳනාම 10 මෙන්න – IOC ත් ඒ අතර

ලෝකයේ වෙළෙඳනාම සම්බන්ධයෙන් වාර්ෂිකව සමීක්ෂණයේ යෙදෙන ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ආයතනය විසින් 2022 වසර සඳහා වන ලොව ප්‍රමුඛතම ඉන්ධන සහ ගෑස් සමාගම් 50 පිළිබඳ දර්ශකය පසුගියදා නිකුත් කරන ලදි.

ඒ යටතේ 2022 වසරේදී ලොව වඩාත් ශක්තිමත්ම ඉන්ධන සහ ගෑස් වෙළෙඳ නාම 10 වර්ගීකරණය කරන්නටත් එම ආයතනය කටයුතු යොදා තිබේ.

ඒ අනුව එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ ලකුණු 87.7ක් හිමි කරගෙන ඇති මැලේසියාවේ පෙට්‍රෝනාස් සමාගමටයි. පසුගිය වසරේදීද මෙම වර්ගීකරණ දර්ශකයේ පළමු ස්ථානයේ පසුවිමට සමත් වූයේද එම සමාගමයි. මෙහිදී එම සමාගමේ වර්ගීකරණය AAA ලෙස සටහන්ව තිබේ.

මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවේ LUKOIL සමාගම වෙත හිමිව ඇත. පසුගිය වසරේදී එම සමාගම 4 වැනි ස්ථානයේ පසු විය. මේ සඳහා එම සමාගම ලකුණු 87.4ක් හිමි කරගෙන ඇති අතර, එය පසුගිය වසර හා සැසඳීමේදී ලකුණු 2.3ක වැඩිවීමකි.

මෙහි තෙවැනි ස්ථානය ලකුණු 87.2ක් ලබා ගනිමින් බ්‍රසීලයේ PETROBRAS සමාගමට හිමිව තිබේ. පසුගිය වසරේදී ඔවුන් 6 වැනි ස්ථානයේ පසුවිය. සිව්වැනි ස්ථානය ලකුණු 86.7ක් හිමි තායිලන්තයේ PTT සමාගමට ලැබී තිබේ. එම සමාගම පසුගිය වසරේ 7වැනි ස්ථානයේ පසුවිය.

ලකුණු 85.9ක් හිමි කරගනිමින් රුසියාවේ Gazprom සමාගම මෙම දර්ශකයේ පස්වැනි ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් එම සමාගම පසුගිය වසරේ සිට ස්ථාන දෙකක් පසුපසට වී තිබේ. ඔවුන් පසුගිය වසරට සාපේක්ෂව ලකුණු 0.8ක් අහිමි කරගෙන තිබේ.

දර්ශකයේ 6 වැනි ස්ථානය ඉන්දුනීසියාවේ PERTAMINA සමාගමට හිමිව ඇත. ඔවුන් පෙර වසරේදී 8 වැනි ස්ථානයේ පසුවිය. මෙහිදී එම සමාගම ලකුණු 85.6ක් හිමි කරගෙන ඇති අතර එය ලකුණු 2.5ක වැඩිවීමකි.

එසේම මෙම දර්ශකයේ 7 වැනි ස්ථානය ඉන්දියාවේ Indian Oil සමාගම වෙත හිමිව තිබේ. පසුගිය වසරේදී ඔවුන් 9 වැනි ස්ථානයේ පසුවිය. මෙහිදී සමාගම ලකුණු 84.1ක් හිමි කරගෙන ඇති අතර, එය ලකුණු 1.9ක වැඩිවීමකි.

නෝර්වේ රාජ්‍යයේ Equinor සමාගම ලකුණු 82.9ක් ලබා ගනිමින් මෙම දර්ශකයේ 8 වැනි ස්ථානයට පත්ව තිබේ. පසුගිය වසරේදී ඔවුන් හිමි කරගත් 19වැනි ස්ථානයේ සිට මෙම ස්ථානයට පත්වීම සුවිශේෂී අවස්ථාවකි. එහිදී ඔවුන් ලකුණු 82.9ක් හිමි කරගෙන ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව ලකුණු 5.6ක ඉහළ යාමකි.

මේ අතර ඉන්දියාවේ Reliance සමාගම ලකුණු 81.8ක් හිමි කරගනිමින් දර්ශකයේ 9 වැනි ස්ථානයේ පසුවෙයි. එම සමාගම පසුගිය වසරේදී එහි 5 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව මේ වසරේදී එම සමාගම ලකුණු 81.8ක් හිමි කරගෙන ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව ලකුණු 3.1ක අඩුවීමකි.

මෙම දර්ශකයේ 10 වැනි ස්ථානය හිමිව ඇත්තේ ස්පාඤ්ඤයේ Repsol සමාගමටයි. එම සමාගම පසුගිය වසරේ රැඳී සිටි 18 වැනි ස්ථානයේ සිට මෙලෙස ස්ථාන 8ක් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. එහිදී සමාගම ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 81.3ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව ලකුණු 3.2ක ඉහළ යාමකි.

Visits: 221