විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය හමුවෙයි

ජිනීවා හි දී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වැනි සැසිවාරය අතරතුර දී, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන මිචෙල් බැචලේ මහත්මිය හමු වූ බව එම අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව අමාත්‍යවරයා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ මහ ලේකම්වරයා සහ චීනය, යුරෝපා සංගමය, ඔස්ට්‍රේලියාව, කොරියානු ජනරජය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ජෝර්දානය යන රටවල නිත්‍ය නියෝජිතවරුන්ද හමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සමඟ පැවති හමුවේ දී, ශ්‍රී ලංකාව, මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර පද්ධතිය සමඟ අවංකව සහ විනිවිදභාවයෙන් යුතුව අඛණ්ඩව හා ක්‍රියාකාරීව සම්බන්ධ වන බවට අමාත්‍ය පීරිස් මැතිතුමා මහ කොමසාරිස්වරියට සහතික වී තිබේ.

එසේම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාලය, තිරසාර සංවර්ධන ඉලක්ක කවුන්සිලය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන ඇතුළු දේශීය යාන්ත්‍රණයන් මගින් භූමියේ ලබා තිබෙන ප්‍රතිඵල පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මීට පෙර මහ කොමසාරිස්වරිය වෙත කරන ලද ආරාධනය තවදුරටත් එලෙසම පවතින බව ද විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා දන්වා සිටියේය.

එසේම වත්මන් සැසිවාරය ආරම්භයේ දී ප්‍රකාශයට පත් කරන ලද එතුමියගේ එළඹෙන විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍යවරයා මිචෙල් බැචලේ මහත්මියට සුබ ප්‍රාර්ථනා කළේය.

Visits: 34