SLT-MOBITEL ව්‍යාපාර නාමාවලිය නව මුහුණුවරකින් එළිදකී

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි.

මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය, SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු කර, නව මුහුණුවරකින් යුතුව හඳුන්වා දී තිබේ.

‘The Directory’ 2022 යනු ජාතික ව්‍යාපාරික දුරකථන නාමාවලියේ 2022 සංස්කරණය වන අතර, එය රටේ ව්‍යාපාරවල සාර්ථකත්වයට අත්වැලක් වන නවතම මෙවලම ලෙස හැඳින්විය හැක. පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයට, නව අංග රැසක් සමගින් හඳුන්වා දී ඇති මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ, වර්තමාන සහ අනාගත පාරිභෝගිකයන්ටත්, ලියාපදිංචි ව්‍යාපාරවලටත් උපරිම ප්‍රතිලාභ ලබාදීම ය. මීට අමතරව මෙය මාර්ගගත නාමාවලියක් (rainbowpages.lk), මුද්‍රිත පොතක්, විද්‍යුත් පොතක්, ජංගම යෙදවුමක් සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන ඇමතුම් මධ්‍යස්ථාන සේවාවක් (SLT 1212, Mobile 444), ආදී වශයෙන් මාධ්‍ය කිහිපයක් ඔස්සේ පරිශීලනය කළ හැකි වීම තවත් විශේෂත්වයකි.

‘The Directory’ ශ්‍රී ලංකාවේ එකම ජාතික ව්‍යාපාර නාමාවලිය ලෙස සැලකේ. 6,000 කට අධික ව්‍යාපාර ආයතන සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු සමගින් රටේ ආර්ථිකයේ සියලුම පැතිමාන නියෝජනය වන ආකාරයට භාණ්ඩ හා සේවා අංශ සම්බන්ධ දැන්වීම් 170,000කට අධික සංඛ්‍යාවක් මීට ඇතුළත් වී තිබේ. දිනකට එය මාර්ගගත ක්‍රමයට පරිශීලනය කරනු ලබන වාර ගණන 10,000කට අධික ය.

සැබවින්ම දේශීය වූ සෙවුම් යාන්ත්‍රණයක් තෝරාගැනීමට උනන්දු වූ, විශේෂයෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය, ඉදිකිරීම්, විදුලි සහ ඉලෙක්ට්‍රොනික වැනි ක්ෂේත්‍ර සහ උප ක්ෂේත්‍ර වලට සම්බන්ධ භාණ්ඩ හා සේවා සපයන්නන් විශාල පිරිසකගේ සම්බන්ධතා තොරතුරු 2022 ජාතික ව්‍යාපාර නාමාවලියට ඇතුළත් වී තිබේ. මෙය ව්‍යාපාර අතර ගනුදෙනු පහසු කරන අතර, Search Engine Optimization (SEO) ක්‍රමවේදය ඔස්සේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර ප්‍රවර්ධනය කරගැනීම සඳහා අගනා අවස්ථාවක් ද ලබාදෙයි. මීට ඇතුළත් සමාගම් හා ආයතන ගූගල් සෙවුම්වලදී පහසුවෙන් සොයාගත හැකි ආකාරයට මෙම නාමාවලිය ගෝලීය ‘search engines’ සඳහා ‘optimize’ කර තිබේ. එමෙන්ම දැන්වීම් සඳහා මෙහි වැඩි ඉඩක් වෙන්කර ඇති නිසා මෙම ව්‍යාපාරවලට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම වඩාත් පහසු වනු ඇත.

මෙහි ලැයිස්තුගත වී සිටින සහ ලියාපදිංචි වූ ව්‍යාපාරවලට වැදගත් වන තවත් සාධකයක් වන්නේ එය රජයේ ටෙන්ඩර් සඳහා අයදුම් කිරීමට සුදුසුකමක් වීමයි. මේ සම්බන්ධ චක්‍රලේඛය දැනටමත් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කර තිබේ.

“මීට පෙර අවසන් වරට ජාතික ව්‍යාපාර නාමාවලිය මුද්‍රණය කර බෙදාහරින ලද්දේ 2020 වසරේදීයි. මේ වනවිට ඩිජිටල් හා මාර්ගගත ක්‍රම සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මීට පෙර මුද්‍රිත නාමාවලියට දැන්වීම් ලබාදුන් සේවාදායකයන් අතරින් 80% ක්ම 2022 “The Directory” සහ එහි මාර්ගගත නාමාවලිය සඳහා දැන්වීම් ලබා දී තිබෙනවා. අපගේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් අඛණ්ඩව වටිනාකම් නිර්මාණය කිරීම අපගේ ප්‍රධානතම ක්‍රමෝපායික ප්‍රමුඛතා අතරින් එකක්. ඒ ඔස්සේ අපගේ වටිනා පාරිභෝගිකයන්ට තම සන්නාම පණිවිඩ වඩාත් හොඳින් ජනතාව අතරට ගෙනයාමට අත්වැලක් වීම සඳහා අප ඩිජිටල් අලෙවිකරණ විසඳුම්, වෙබ් විසඳුම්, සහ ‘Content Development’ ඇතුළු සේවා රාශියක් ලබාදෙනවා. ළඟදීම ‘Platform Based Solutions’ ඇතුළු තවත් නිෂ්පාදන හා සේවා රැසක් හඳුන්වාදීමටත් අප සූදානම්”, SLT Digital Services (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්‍යාපාර නාමාවලි දැන්වීම්කරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් නිර්මාණ විසඳුම්, උත්සව කළමනාකරණය, සන්නාම සම්බන්ධ සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් පිරිනමන සමාගමකි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රජාව අතර වඩාත්ම ජනප්‍රිය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා අලෙවිකරණ විසඳුම් සපයන්නා බවට පත්වීම එම සමාගමේ අරමුණ වේ.

Visits: 86