සෙලාන් බැංකුව 2022 පළමු කාර්තුව සඳහා රු. බිලියන 1.1ක බදුපසු ලාභයක් වාර්තා කරයි

සෙලාන් බැංකුව, සාර්ව ආර්ථික අභියෝග බහුල වූ කාලපරිච්ඡේදයක තම ඉදිරි ගමනේ යහපත් ප්‍රවණතා අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, 2022 ප්‍රථම කාර්තුව සඳහා රු. බිලියන 1.1 ක බදු-පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ.

බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නියාමන අවශ්‍යතාවලට ඉහළින් පවතින අතර, ද්‍රවශීලතා මට්ටම ද කාර්තුවේ අවම අනුපාතයන්ට වඩා වැඩි අගයක පවතී. දේශීය බැංකු ඒකකය සහ විදේශ බැංකු ඒකකය සඳහා බැංකුවේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාත පිළිවෙළින් 23.32% සහ 22.65% වේ. එමෙන්ම අදාළ කාර්තුව තුළ බැංකුවේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 6.8 ක් වන අතර, එය 22.51% ක වර්ධනයකි.

පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 7.5 ක මෙහෙයුම් ආදායමට සාපේක්ෂව, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ සෙලාන් බැංකුවේ මෙහෙයුම් ආදායම 21.80% කින් වර්ධනය වී, රු. බිලියන 9.1 ක් ලෙස වාර්තා වී තිබේ. ප්‍රධාන වශයෙන් ව්‍යුත්පන්න මූල්‍ය උපකරණවලින් ලැබූ ශුද්ධ ආදායම වර්ධනය වීම නිසා, 2022 පළමු කාර්තුව තුළ වෙළඳ කටයුතුවලින් බැංකුව ලැබූ ශුද්ධ ආදායම රු. බිලියන 3.6 ක් ලෙස වාර්තා වී ඇත.

කාඩ්පත් සම්බන්ධ ආදායම, වෙළඳ මූල්‍ය කටයුතු සම්බන්ධ ගාස්තු සහ, කොමිස් ආදායම හා විද්‍යුත් බැංකුකරණය වැනි අනෙකුත් මුල්‍ය සේවා ආශ්‍රිත ආදායම්වල වර්ධනය හේතුවෙන් ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. බිලියන 1.157 සිට රු. බිලියන 1.437 දක්වා 24.20% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේ ය. බැංකුව නිකුත් කර ඇති ණය සහ අත්තිකාරම් එකතුව 2022 ප්‍රථම කාර්තුව තුළ රු. බිලියන 462.1 දක්වා 4.56% කින් වර්ධනය වීම හරහා ද මුදලේ අගය අවප්‍රමාණය වීමෙන් සිදු වූ වර්ධනය නිරූපණය කරයි. කාලීන ණය, බැංකු අයිරා සහ අපනයනකරුවන්ට ලබාදෙන ණය (Packing Credits), ලබාදුන් ණය ප්‍රමාණයන්හි වර්ධනයට මූලික වශයෙන් හේතු විය. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ බැංකුවේ තැන්පතු පදනම රු. බිලියන 515.6 දක්වා 5.52% කින් වර්ධනය වූ අතර, බැංකුවේ ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය 34.24% කි.

සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස් මහතා සහ සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා

2022 පළමු කාර්තුවේ කාර්යසාධනය පිළිබඳව සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසීය, “මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව දැවැන්ත කැළඹීම්වලට මුහුණ දුන්නා. පෙර නොවූවිරූ අර්බුදයක් හමුවේ රට කිසියම් ආකාරයක ස්ථාවරත්වයක් අපේක්ෂාවෙන් පසුවන මේ මොහොතේ, අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් අපගේ වර්ධන ප්‍රවණතාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 643.1 දක්වා වර්ධනය වුණා. මෙය 2021 දෙසැම්බර් 31 දිනට සාපේක්ෂව 5.85%ක වර්ධනයක්. බැංකුවේ සියලු කටයුතු ආවරණය වන පරිදි කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේදයන් සහ ස්වයංක්‍රීයකරණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම තුළින්, වියදම් ඉහළ යාම අවම මට්ටමක පවත්වා ගැනීමට අපට හැකි වුණා. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ උපරිම කාර්යක්ෂමතාවක් සාක්ෂාත් කරගැනීමට හැකිවන ආකාරයට රාජකාරි කළ හැකි ක්‍රම හඳුනාගෙන ක්‍රියාවට නංවමින් මනා ආදර්ශයක් ලබාදීමට සමත් වීම පිළිබඳව සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයට කාගේත් ප්‍රශංසාව හිමි විය යුතුයි”.

මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව සඳහා හිමිකම් මත ප්‍රතිලාභය 8.18% ක් වන අතර, එය 2021 වසරේදී අදාළ කාලසීමාව තුළ වාර්තා වූයේ 9.07% ක් වශයෙනි. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය 2022 ප්‍රථම කාර්තුව තුළ 0.94% ක් ලෙස වාර්තා වී තිබේ. කොටසක් සඳහා ඉපැයුම මෙම කාලසීමාව තුළ රු. 1.82 ක් වන අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවේ වාර්තා වූ රු. 1.74 ට සාපේක්ෂව සුළු වර්ධනයකි. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 88.31 ක් විය (සමූහයේ මෙම අගය රු. 91.46 කි).

2022 ප්‍රථම කාර්තුව තුළ ප්‍රමාණවත් ප්‍රාග්ධන පදනමක් බැංකුව සතු වූ අතර, එහි ප්‍රධාන ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයන් අවම නියාමන මට්ටම්වලට වඩා ඉහළින් පැවතිණි. බැංකුවේ ප්‍රථම පෙළ පොදු ස්කන්ධය (CET 1) සහ ප්‍රථම පෙළ ප්‍රාග්ධන අනුපාතය 9.78% ක් වූ අතර, 2022 මාර්තු අවසානය වන විට සමස්ත ප්‍රාග්ධන අනුපාතය 12.78% ක් විය.

පවතින තත්ත්වය හේතුවෙන් විදේශ මුදල් මූලික කරගත් උපකරණ සඳහා අමතර ප්‍රතිපාදන ඉහළ යාම නිසා, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 2.2 ට සාපේක්ෂව 2022 වසරේ ප්‍රථම කාර්තුව තුළ හානිකරණ වියදම් සඳහා ප්‍රතිපාදන වශයෙන් බැංකුව රු. බිලියන 3.4 ක් වාර්තා කර තිබේ. ආදායම් බදු වියදම රු. මිලියන 413.2 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. මිලියන 392.2 ට සාපේක්ෂව 5.36% ක ඉහළ යාමකි.

දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, ආදායම් ස්ථාවර කරගනිමින්, තම සියලු පාර්ශ්වකරුවන් තුළ විශ්වාසය තහවුරු කිරීමට සෙලාන් බැංකුව සමත් වී තිබේ. අවදානම් ප්‍රමාණවත් පරිදි අවම කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් ගන්නා ලද දැඩි පියවර සමඟ, බැංකුව ක්‍රියාවට නැංවූ ප්‍රාග්ධන ආරක්ෂණ විධිවිධාන සහ ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා සමගින්, දැනට පවතින අර්බුදය හමුවේ පවා දිගින් දිගටම දියුණුව කරා යාමටත්, ආර්ථිකය නැවත ගොඩනැංවීමට දායක වෙමින් කොටස් හිමියන්ට අඛණ්ඩව ප්‍රතිලාභ පිරිනැමීමටත් හැකියාව ලැබෙනු ඇති බව සෙලාන් බැංකුව විශ්වාස කරයි.

Visits: 75