ඉන්දියානු රු. කෝටි 20ක් දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස් IPL අවසන් සටනට

ඉන්දියානු ප්‍රීමියර් ලීග් 2022 තරගාවලියේ (TATA IPL 2022) අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අද සමත් විය.

අහමෙදාබාද්හිදී අද පැවැති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත් කරමින් එම කණ්ඩායම මෙම සමත්කම දක්වා තිබේ.

මේ අතර පෙරේදා පැවැති ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්තාන් රෝයල්ස් අතර තරගයෙන් කඩුළු 07ක ජයක් ලබා ගනිමින් මෙවර IPL 2022 තරගාවලියේ අවසන් තරගය සඳහා පළමුවෙන්ම සුදුසුකම් ලැබීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

ඒ අනුව මෙවර IPL 2022 තරගාවලියේ අවසන් මහා තරගය සඳහා තරග වැදීමට ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා සිටියි.

මේ අතරින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම IPL 2022 තරගවාරය සඳහා අලුතින් හඳුන්වාදුන් කණ්ඩායම් දෙක අතරින් එකක්ද වෙයි.

මෙම අවසන් මහා තරගය ලබන ඉරිදා (මැයි 29 වැනිදා) අහමෙදාබාද්හි පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායම සඳහා ශූරතාව වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගය ඉන්දියානු රුපියල් මිලියන 200ක් හෙවත් කෝටි 20කි. එසේම අනුශූරතාව වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 13ක් පිරිනැමෙයි.

පසුගිය මාර්තු 26 වැනිදා IPL 2022 තරගාවලිය ආරම්භ විය. මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා TATA සමාගමයි.

Visits: 4533