ඇල්ෆා ෆයර් සර්විසස් CSE හි ලැයිස්තුගතවීමට සූදානමින්

මෙරට මුල් පෙළේ ගිනි ආරක්ෂක සේවා සහ උපාංග සම්පාදන සමාගමක් වන ඇල්ෆා ෆයර් සර්විසස් සමාගම (Alpha Fire Services Limited)කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ලැයිස්තුගතවීම සඳහා සූදානමින් සිටින බව පවසයි.

මෙහිදී ඊට අදාළව මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සිදු කිරිම වෙනුවෙන් ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය වෙත අනුමැතිය ලබා දුන් බව කොළඹ කොටස් හුවමාරුවෙහි උප සභාපතිනී (ලැයිස්තුගත කිරීම්) විදුනි දුල්ලෑව මහත්මිය සියලුම කොටස් තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී සිටියි.

ඒ අනුව සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ලැයිස්තුගතවීම සැලසුම වී තිබේ. ඒ සඳහා සිදු කරන මූලික මහජන කොටස් නිකුතුවේදී ඇල්ෆා ෆයර් සර්විසස් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,760,000ක් ආයෝජකයන් සඳහා නිකුත් කිරීම සැලසුම වී තිබේ.

1989 වසරේදී බහරේනයේදී පිහිටවුණු ඇල්ෆා ෆයර් සර්විසස් සමාගම, එම වසරේදීම ශ්‍රී ලංකාව තුළත් සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. අද වන විට බහරේනය, කටාරය සහ ශ්‍රී ලංකාව තුළත් එම සමාගම සිය සේවා සපයයි.

ඇල්ෆා ෆයර් සර්විසස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ෆ්‍රෑන්ක් රයිඩ් (සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී), විජිත් පෙරේරා (කළමනාකාර අධ්‍යක්ෂ), මලින්ද්‍ර ප්‍රනාන්දු (අධ්‍යක්ෂ), ඩේනා මරිසේ රයිඩ් (සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂිකා) සහ සමුද් ගුණසේකර (අධ්‍යක්ෂ) යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත වෙයි.

Visits: 238