කිමාර්ලි ප්‍රනාන්දු සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනිය ලෙස කටයුතු කළ කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇතැයි පවසයි. ඊට අදාළ ලිපිය ඇය අද නව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත යවා තිබේ.

ඒ අනුව නව අමාත්‍යවරයාට සුදුසු අයෙකු එම සභාපති ධුර සඳහා පත් කිරීම වෙනුවෙන් අවස්ථාව ලබා දෙමින් තමන් එම ධුරවලින් ඉවත් වන බව ඇය සඳහන් කර තිබේ.

හිටපු සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා යටතේ ඇය 2019 දෙසැම්බර් මාසයේදී මෙලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරිය ලෙස පත් කෙරිණි. ඒ අනුව ඇය පුරා මාස 30ක කාලයක් එම ධුරය දරා තිබේ.

ඇය මෙම ලිපියේ සඳහන් කර ඇති ආකාරයට මෙම කාලය තුළදී ඇය කිසිදු වැටුපක්  හෝ දීමනාමක් ලබා නොගනිමින් ගරු සේවයක් ලෙස එම ධුරය දරා ඇති අතර, ඇය සහභාගි වූ සියලුම විදේශ ගමන් සහ විදේශ නවාතැන් පහසුකම් වෙනුවෙන් වන ගෙවීම් සියල්ලම ඇය සිය පුද්ගලික මුදලින් සිදු කර තිබේ.

ඒ අනුව කිසිදු ආකාරයකින්වත් බදු ගෙවන්නන්ගේ මුදල් තමන් වෙනුවෙන් වියදම් කර නොගත් බවත්, රට මුහුණ දී ඇති වර්තමාන අවස්ථාවේදී අනෙකුත් පිරිසටත් එය හොඳ ආදර්ශයක් බවත් ඇය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යනු සංචරණ මණ්ඩල කිහිපයක් නියෝජනය කරමින් කොළඹ පාදක කරගත් සංවිධාන කිහිපයකට සීමාවූවක් නොවන බවත්, ඒවායේ සිටින ‘ප්‍රවීණ“ යැයි කියා ගන්නා කිහිප දෙනෙකු ‘කල්ලි‘ ලෙස ක්‍රියා කරමින් සිටින බවත් ඇය මෙම ලිපියේදී චෝදනා කර සිටියි.

මෙහිදී එම පිරිස සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ එහි නියැලි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත හිමිවීමට විරෝධය දක්වන්නන් වන බවත්, උදාහරණ ලෙස සංචාරක කර්මාන්තයේ රැකියාවන්හි නිරත පිරිස වෙත අවම වැටුපක්, සංචාරක රියදුරන් සඳහා සාධාරණ වටිනාකමක් ලබාදීමක් සිදුවියයුතු බවත් පවසයි.

එසේම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා වර්තමාන ලෝකයට ගැලපෙන ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේද පිළිබඳව අකමැත්තක් දක්වන ඔවුන් තවමත් පැරණි ලෝකයේ අන්තර්ජාලය පැමිණීමට පෙරාතුව පැවැති සංචරණ වෙළෙඳ ප්‍රදර්ශන සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සිටින බවත් ඇය මෙම ලිපියේ සඳහන් කර තිබේ.

කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය මෙරට සුප්‍රසිද්ධ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ ලේලියද වෙයි.

Visits: 56