“තෙවැනි පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා” – ඉන්ධන හා බලශක්ති ඇමති ඉල්ලයි

කිසිදු අවස්ථාවකදීවත් තෙවැනි පාර්ශ්වයකින් ඉන්ධන මිලදී නොගන්නා ලෙස ඉන්ධන හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලයි.

සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් තබමින් ඔහු මෙම ඉල්ලීම සිදු කර තිබේ. “තෙවැනි පාර්ශ්වයකින් කිසිදු ලෙසකින්වත් පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී නොගන්නා ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.” එහි සඳහන්ව තිබේ.

ඇමතිවරයා පවසන ආකාරයට දැනට සිදු කර ඇති විමර්ශනයන්ට අනුව ඉන්ධන එක්රැස් කරන ඇතැම් පුද්ගලයන් මෙම පෙට්‍රෝලියම් නිෂ්පාදන සමගින් තවත් දියර වර්ග මිශ්‍ර කරමින් වැඩිමිලට ඉන්ධන අලෙවි කිරීමේ නිරතව සිටින බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙවැනි ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා කිසිදු විටෙකත් කටයුතු නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව පවසන ඇමතිවරයා එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දෙන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Visits: 60