“අර්බුදයෙන් ගොඩයන්න අලුත් මාර්ගයකට යන්න වෙනවා” – අගමැති රනිල් වික්‍රමසිංහ

ඉදිරි මාස කිහිපයේදී රටට මෙන්ම තමාටද ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කිරීමට සිදුවන බවත්, ඊට සියල්ලන්ම කැපවීමෙන් මුහුණ දිය යුතුව ඇති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පස්වරුවේදී ජාතිය අමතමින් අගමැතිවරයා මේ බව පවසා සිටියේය. මෙහිදී තමන් රටෙහි පවතින තත්ත්වය පිළිබඳව කරුණු සඟවා බොරු කීමට කැමති නොමැති බවත්, භයානක වුවත් අප්‍රසන්න වුවත් ඇත්ත එය බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේදී අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වනවිටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ. ඒ සඳහා ගත වන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනවා. නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.” අගමැතිවරයා පවසා සිටියේය.

ඒ අනුව දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා සියලු පක්ෂවල සහභාගිත්වයෙන් ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“එවිට සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට තීරණය කරගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන- මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා.” අගමැතිවරයා පවසා සිටියේය.

Visits: 61