2021 දී නව රථ වාහන ලියාපදිංචිය 83.3%කින් පහළට

2021 වසරේදී මෙරට තුළ අලුතින් ලියාපදිංචි කෙරුණු රථවාහන සංඛ්‍යාව 33,850ක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙය 2020 වසරේදී අලුතින් ලියාපදිංචි කෙරුණු සමස්ත රථ වාහන සංඛ්‍යාව වූ 282,628 හා සැසඳීමේදී 83.3%ක පහළ වැටීමකි.

එම දෙපාර්තමේන්තුවේ දත්ත යොදා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගියදා එළිදක්වන ලද ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 2021 වාර්ෂික වාර්තාව තුළ මේ බව සටහන්ව තිබේ.

විශේෂයෙන්ම 2021 වසරේදී රට තුළ පැනවුණු ආනයන සීමා යටතේ රථ වාහන  ආනයනයට සීමා පැනවීම මෙලෙස රථ වාහන අලුතින් ලියාපදිංචිය සීඝ්‍ර පහත වැටීමකට හේතුවී තිබේ.

මෙහිදී 2021 වසරේ මෙරට තුළ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 3,495 කි. එය 2020 වසරේදී අලුතින් ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 21,021 හා සැසඳීමේදී 83.4%ක පහත වැටීමකි.

එසේම 2021 වසරේදී අලුතින් ලියාපදිංචි කර ඇති යතුරු පැදි සංඛ්‍යාව 8,011ක් වන අතර, 2020 දී එම ලියාපදිංචිය 151,634ක් ලෙස සටහන්ව ඇත. ඒ අනුව 2020 ට සාපේක්ෂව 2021 වසරේදී යතුරු පැදි නව ලියාපදිංචිය 94.7%කින් පහත වැටී තිබේ.

මීට අමතරව 2021 වසරේදී මෙරට තුළ අලුතින් ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථ සංඛ්‍යාව 2,093කි. 2020 දී එය ත්‍රිරෝද රථ 7,150ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 70.7%ක පහත වැටිමකි.

මේ අතර 2021 වසර තුළ අලුතින් ලියාපදිංචි කෙරුණු ද්විත්ව කාර්ය වාහන සංඛ්‍යාව 771 කි. කෙසේ වෙතත් 2020 වසරේදී එම රථ 9,532ක් මෙරට තුළ අලුතින් ලියාපදිංචි කර ඇත. ඒ අනුව මෙය 91.9%ක පහත වැටිමකි. එසේම 2020 වසරේදී ක්‍රොඩ්සයිකල් සහ මෝටර් නිවාස 470ක් අලුතින් ලියාපදිංචි කර ඇති අතර, 2021 වසරේදී ලියාපදිංචි කර ඇත්තේ එවැනි රථ 3ක් පමණකි. ඒ අනුව මෙය 99.4%ක පහත වැටිමක් ලෙස සටහන්ව ඇත.

කෙසේ වෙතත් 2021 වසරේදී භාණ්ඩ ප්‍රවාහන සහ ඉඩම් වාහන අලුතින් ලියාපදිංචි කිරීම් ඉහළ ගොස් ඇත. ඒ අතරින් 2021 වසරේදී ඉඩම් වාහන 14,764ක් අලුතින් ලියාපදිංචි කර ඇති අතර, 2020 දී එය 8,302කි. ඒ අනුව මෙය 77.8%ක ඉහළ යාමකි. මීට අමතරව 2021 දී භාණ්ඩ ප්‍රවාහන වාහන 4,432ක් ලියාපදිංචි කර ඇති අතර, 2020 දී එම සංඛ්‍යාව 3,941ක් විය. ඒ අනුව මෙය 12.5%ක ඉහළ යාමකි.

Visits: 125