එලෝන් මස්ක් Twitter සේවකයන් 1000ක් ඉවත් කිරීමේ සූදානමක

Twitter Inc. සමාගමේ නව හිමිකරුවා වීමට යන එලෝන් මස්ක් එහි කාර්ය මණ්ඩලයේ 1,000ක් ඉවත් කිරීමේ සූදානමක සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. එම සමාගම අත්පත් කරගැනීමේ කටයුතු සම්පූර්ණ වීමෙන් අනතුරුව ඔහු මෙම සැලසුම වෙත යොමු වනු ඇතැයි සඳහන් වෙයි.

Twitter සමාගම එක්සත් ජනපද ඩොලර් බිලියන 45ක මුදලකට එලෝන් මස්ක් වෙත අලෙවි කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා තීරණය කර තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට ඉදිරි මාසහයක පමණ කාලයකදී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය මස්ක් වෙතහිමිවනු ඇතැයි සඳහන් වෙයි.

මේ අතර ඉදිරි වසර තුනක කාලයේදී තවත් පිරිසක් සමාගම වෙත බඳවා ගනිමින් දැනට එහි සිටින සේවකයන් සංඛ්‍යාව වන 7,500ක ප්‍රමාණය 2028 දී 11,000ක් දක්වා ඉහළ නංවා ගැනීමත් සැලසුම වී ඇත. 2021 වසරේදී එහි සේවකයන් 9,225න් ලෙස සටහන් විය. එහිදී වැඩි වශයෙන් පරිගණක ඉංජිනේරුවන් සඳහා අවස්ථාව ලබා දෙනු ඇතැයිද පැවසෙයි.

මේ අතර Twitter සමාගමේ පිරිවැය කප්පාදුවේ අවස්ථාවක් ලෙස එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි සමාගමේ මූලස්ථාන ගොඩනැගිල්ල වසා දැමීමටත්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා වැටුප් නොගෙවීමටත් මස්ක් අදහස් ඉදිරිපත් කර තිබූ බවත් සඳහන් වෙයි.

මෙම කප්පාදු හරහා 2028 වසර වනවිට Twitter සමාගමේ වාර්ෂික පිරිවැටුම වර්තමානයේදී පවතින ඩොලර් බිලියන 5 සිට පස් ගුණයක වර්ධනයක් වෙත ළගා කරමින් ඩොලර් බිලියන 26.4ක පිරිවැටුමක් උපයා ගැනීමද මස්ක්ගේ සැලසුම වී ඇතැයි සඳහන් වෙයි.

මීට අමතරව 2028 වසර වන විට දැන්වීම් හරහා ලබන ආදායම ඩොලර් බිලියන 12ක්දක්වා වර්ධනය කරගැනීමටත්, දායකත්ව අයකිරීම් හරහා තවත් ඩොලර් බිලියන 10ක ආදායමක් රැස් කරගැනීමත් සැලසුම් වන බව සඳහන් වෙයි.

එසේම 2021 වසර අවසානයේදී මිලියන 217ක් පමණ වන Twitter පරිශීලකයන් සංඛ්‍යාව 2025 වනවිට මිලියන 600ක් දක්වා වර්ධන කරගැනීමත්, 2028 දී එය මිලියන 931ක් දක්වා වර්ධනය කරගැනීමත් මස්ක්ගේ බලාපොරොත්තුව වෙයි.

මේ අතර ඉදිරියේදී සමාගම් සහ රාජ්‍යයන් සතු Twitter ගිණුම් සඳහා ඩොලර් මිලියන 3ක මාසික ගාස්තුවක් අය කිරීමටත් මස්ක් සැලසුම් කර ඇත. මෙය Twitter Blue ලෙසින් හැඳින්වෙන අතර, මිලියන 69ක පරිශීලකයන් පිරිසක් මෙම සේවාව ලබා ගනු ඇතැයි සඳහන් වෙයි.

මීට අමතරව Twitter අත්පත් කරගැනීමේ කටයුතු සම්පූර්ණවීමත් සමගින්ම සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී පරාග් අග්රාවාල් එමධුරයෙන් ඉවත් කරමින් මස්ක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් විමටත් නියමිතව ඇතැයි සඳහන් වෙයි.

Visits: 134