ශ්‍රී ලංකාව සහ ටිමෝර්-ලෙස්ටේ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගනී

ශ්‍රී ලංකාව සහ ටිමෝර් -ලෙස්ටේ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරගැනීම සඳහා වන එකඟතාවට අත්සන් තැබීම ඊයේ (04දා) දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික නිත්‍ය මෙහෙයුම් කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී දෙරට වෙනුවෙන් එම එකඟතාව වෙත අත්සන් තැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සහ තානාපති මොහාන් පීරිස් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ටිමොර් – ලෙස්ටේ රාජ්‍යයේ නිත්‍ය නියෝජිත කාර්ලිටෝ නුනෙස් අතර සිදුව තිබේ.

අග්නිදිග ආසියානු කලාපයේ පිහිටි ටිමෝර් දූපත්හි නැගෙනහිර අර්ධයට අයත් ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ජනගහනය ලක්ෂ 13කට ආසන්න වෙයි. එරට ප්‍රධාන අපනයන භාණ්ඩ වන්නේ බොර-පෙට්‍රෝලියම්, ස්වාභාවික ගෑස්, කෝපි, එළවළු සහ යකඩ සුන්බුන්ය.

ශ්‍රී ලංකාව සහ ටිමෝර් – ලෙස්ටේ රාජ්‍යයන් ASEAN කලාපීය ෆෝරමයේ සාමාජිකයන්ද වෙයි.

මෙලෙස දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම හරහා ශ්‍රී ලංකාව සහ ටිමෝර් ලෙස්ටේ රාජ්‍ය අතර දැනට පවතින මිත්‍රශීලී සබඳතාව සහ දෙරටේම දේශපාලනික, සමාජ ආර්ථික සහ සංස්කෘතික අංශ තුළ පවතින සහයෝගය සහ අන්‍යෝන්‍ය සබඳතාව  තවදුරටත් වර්ධනය කරගත හැකි බව සඳහන් වෙයි.

Visits: 68