නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී වෙතින් රු.බිලියන 2ක හිමිකම් නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නේෂන් ලංකා ෆිනැන්ස් පීඑල්සී සමාගම (CSF.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. මේ සඳහා වන යෝජනාවට ඊයේ (04දා) එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,870,040,325ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ.

මෙය දැනට සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 100ක් සඳහාම අලුතින් කොටස් 212ක් හිමිවන ආකාරයෙන් සිදු කෙරෙන නිකුතුවක් බව සමාගම පවසයි.

මෙහිදී නිකුත් කෙරෙන එක් කොටසක් රුපියල් ශත 70ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 2ක් (2,009,028,227ක්) ලෙස සටහන්ව ඇත.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අනුව එහි වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.2ක් (1,224,042,009කි)

මෙලෙස හිමිකම් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් මූලිකවම සමාගම සම්බන්ධයෙන් බාහිර විගණන පරීක්ෂකයන් මගින් ඉදිරිපත් කර ඇති කාරණා සැලකිල්ලට ගැනීම වෙනුවෙන් යෙදවෙන බව සමාගම පවසයි. එසේම දැනට කොළඹ කොටස් හුවමාරුවෙහි Watch List ලැයිස්තුවට ඇතුළු කර ඇති සිය සමාගම ඉන් ඉවත් කිරීම සඳහා කොටස් හුවමාරුවට යෝජනා කිරීම සහ ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් දැනට සමාගමේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමත් අපේක්ෂාව බව සමාගම සඳහන් කරයි.

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙම හිමිකම් නිකුතුව සඳහා අනුමැතිය ලබා දී ඇතැයිද නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව පිළිබඳව සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් ලබා ගත යුතුව ඇති බවත්, එය ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ මහා සභා රැස්වීමේදී ගැනීමට නියමිතව ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 104