සණස සංවර්ධන බැංකුවේ නව සභාපතිනිය ලෙස දිනිති රත්නායක නම් කෙරේ

බැංකු ක්ෂේත්‍රයේ වසර 24කට අධික අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ට බැංකුකරණ වෘත්තිකයෙකු වන දිනිති රත්නායක මහත්මිය සණස සංවර්ධන බැංකුවෙහි නව සභාපතිවරිය ලෙස නම් කෙරී ඇතැයි එම බැංකුව පවසයි.

පසුගිය අප්‍රේල් 22 වැනිදා පැවැති එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ අවසන් තීරණය ගෙන තිබේ.

මෙතෙක් කලක් බැංකුවෙහි සභාපති ධුරය දැරූ ලක්ෂ්මන් අබේසේකර මහතා ලබන අප්‍රේල් 29 වැනිදා සිට එම ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කිරීමත් සමගින්ම පුරප්පාඩුවන ධුරය සඳහා මෙලෙස දිනිති රත්නායක මහත්මිය නම් කෙරී තිබේ.

බැංකුවේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ රත්නායක මහත්මිය පසුගිය අප්‍රේල් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස බැංකුවෙහි විධායක නොවන, ස්වාධීන අධ්‍යක්ෂවරියක ලෙස නම් කිරීමද සිදුවිය.

මෙලෙස සභාපති ධුරය සඳහා නම් කරන අවස්ථාව වනවිට රත්නායක මහත්මිය සතුව සණස සංවර්ධන බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව පවසයි. රත්නායක මහත්මිය සතුව මූල්‍ය ආයතන පිළිබඳ ඉතා පුළුල් සහ ගැඹුරු දැනුමක් පවතින බවත් සණස සංවර්ධන බැංකුව සඳහන් කරයි. එහිදී ඇය විදේශීය සහ දේශීය බැංකු සහ මූල්‍ය ආයතන රැසක සේවා කරමින් ලබා ගෙන ඇති අත්දැකීම් පාදක වන බවත් බැංකුව පවසයි.

Visits: 115