ඖෂධ සහ වෛද්‍ය උපාංග මිලදී ගන්නට ඉතාලියෙන් රුපියල් මිලියන 125ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් සලකා බලමින් ඉතාලි රජය මගින් ශ්‍රී ලංකාව සඳහා හදිසි මූල්‍යමය දායකත්වයක් ලෙස යූරෝ 341,115ක මුදලක් (රුපියල් මිලියන 125කට ආසන්න මුදලක්) ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙන බව කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී ශ්‍රී ලාංකික ජනතාව සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කරන බව සඳහන් වෙයි.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ඉතාලියානු ද්විපාර්ශ්වික හදිසි අරමුදල හරහා මෙම මුදල් ලබාදීමක් සිදු කොරන බවත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැලසුම් කර ඇති ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන යටතේ අදාළ සැපයුම්කරුවන්ට ඍජුවම මෙම මුදල් ලැබෙනු ඇතැයිද තානාපති කාර්යාලය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනී රීටා මැනෙල්ලා මහත්මියගේ මැදිහත්විම යටතේ මෙම මුදල් ආධාර ප්‍රදානය සිදු කෙරී තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දිගුකාලයක් පුරා පවතින ශක්තිමත් හවුල්කාරීත්වය යටතේ මෙම හදිසි ආධාර ප්‍රදානය සිදු කෙරී තිබේ.

Visits: 46