කොමර්ෂල් බැංකුව සිය ‘ෆ්ලෑෂ්’ ගිණුම සඳහා වීඩියෝ ඇමතුමකින් ගැනුම්කරුවා හඳුනාගැනීම හඳුන්වා දෙයි

කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දුන් නව්‍ය ඩිජිටල් බැංකු ගිණුම වන ‘ෆ්ලෑෂ්’ බැංකු ගිණුමක් කොමර්ෂල් බැංකු ශාඛාවකට නොගොස් විවෘත කිරීම, සක‍්‍රීය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බැංකුව විසින් වීඩියෝ ඇමතුම් තුලින් ගැනුම්කරුවා හඳුනාගැනීමේ නව ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ.

මෙම සුවිශේෂී ඩිජිටල් KYC (ඔබේ ගනුදෙනුකරුවා හඳුනා ගැනීම) ක‍්‍රියාවලිය මගින් බැංකුවට ගනුදෙනුකරුවා දුරක සිටියත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ‘ෆ්ලෑෂ්’ ගිණුමේ සම්පූර්ණ ප‍්‍රවේශය සියළුම පහසුකම් සමගින් සක‍්‍රීය කිරීමට හැකිවී ඇත. මෙම පහසුකම් අතර අනිකුත් බැංකු ගිණුම් ඒකාබද්ධ කිරීමද තිබෙන අතර මේ තුළින් ගිණුම් හිමියාට වෙනත් බැංකුවක ගිණුමකින් ‘ෆ්ලෑෂ්’ ගිණුම සඳහා මුදල් පේ‍්‍රෂණය කළ හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. 

ගනුදෙනුකරුවන්ට ලබාදී තිබෙන ස්වයං ලියාපදිංචිවීම තවදුරටත් පහසු කරමින් කොමර්ෂල් බැංකුව විසින් ‘ෆ්ලෑෂ්’ ඩිජිටල් ගිණුමක් ආරම්භ කරන ගනුදෙනුකරුවන්ට තමන්ගේ පුද්ගලික තොරතුරු කිහිපයක් පමණක් ඉතාමත් සරලව පුරවා ඒවා තමන්ගේ ‘ෆ්ලෑෂ්’ ජංගම දුරකතන ඇප් පහසුකම මගින් අප්ලෝඞ් කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. ඉන්පසුව, බැංකු නිළධාරියෙකු විසින් ගනුදෙනුකරුවාව වීඩියෝ ඇමතුමක් මගින් අමතන අතර එහිදී ගනුදෙනුකරුවාගේ තොරතුරු තහවුරු කරමින් ගිණුම සක‍්‍රීය කිරීමට කටයුතු කරනු ඇත. 

2021 වසරේදී ඒෂියන් බෑන්කිං ඇන්ඞ් ෆයිනෑන්ස් (ABF) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ඩිජිටල් බැංකුකරණ වැඩසටහන’ ලෙසින් සම්මානයට පාත‍්‍රවූ ‘ෆ්ලෑෂ්’ පරිපූර්ණ වූ ඩිජිටල් බැංකුකරණ ඇප් සේවාවක් වේ. එමගින්  දෛනික වියදම් සහ විවිධ සේවා සඳහා ගෙවීම්, මුදල් කළමණාකරනය, ඉතිරි කිරීම, මූල්‍යන සේවා, ඊ-වාණිජ්‍යය, පාරිසරික දැනුවත් කිරීම් සහ ආයෝජන වැනි සේවා ගිනුම්හිමියන්ට ලබාදෙයි. මෙම ඇප් සේවාවට එයටම වෙන්වූ www.flashbank.lk වෙබ් අඩවියෙන් සහාය හිමිවේ.

‘ෆ්ලෑෂ්’ ඩිජිටල් බැංකු ගිණුම් ජංගම දුරකතන ඇප් පහසුකම Apple App Store, Google Play Store හෝ Huawei App Gallery මගින් ඩවුන්ලෝඞ් කරගත හැකි අතර එක් අයදුමක් මගින් ගනුදෙනුකරුවන්ට  ඕනෑම වෙලාවක,  ඕනෑම තැනක සිට පරිපූර්ණ වූ මූල්‍ය සේවා සහ වත්කම් කළමනාකරණ උපකරණ මාලාවක් මෙමගින් ලබාදෙයි.

Visits: 97