CSE හි ගනුදෙනු අත්හිටුවූ අවස්ථාවක් සඳහා අලුතින් වෙන්දේසි වාරයක් හඳුන්වාදීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවීමක් සිදු වූ අවස්ථාවකදී, මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය වෙනුවට ‘^වෙන්දේසි වාරයක් (Auction Session)‘ ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි එම හුවමාරුවෙහි බලධාරීන් පවසයි.

කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට මෙම නව ක්‍රමවේදය වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීම ලබන අප්‍රේල් 25 වැනි සඳුදා ලෙස ක්‍රියාත්මක කිරිම සැලසුම වී තිබේ.

S&PSL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%කට, 7.5%කට සහ 10%කට වඩා පහත වැටුණු අවස්ථාවලදී, ස්වයංක්‍රීය පරිපථ කණ්ඩනයක් (circuit breakers) හරහා මෙලෙස දෛනික ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.

2020 අප්‍රේල් මාසයේදී කොළඹකොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පරිපථ කණ්ඩන ක්‍රමවේදය හඳුන්වාදීම සිදු විය.

මේ දක්වා පළමු පරිපථ කණ්ඩන අවස්ථාවකදී සිදු වූ හදිසි ගනුදෙනු අත්හිටුවීමේ අවස්ථාවකදී එහි ගනුදෙනු විනාඩි 30ක කාලයකට නැවැත්වීම සිදුවිය. එම කාලයේදී වෙළෙඳ පොළෙහි ස්වයංක්‍රීය වෙළෙඳ පද්ධතිය (ATS – Automated Trading Systems) වෙත අලුතින් ඇනවුම් ඉදිරිපත් කිරීම හෝ එහි දැනට ඇති ඇනවුම් සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කිරිම හෝ සිදු කළ නොහැකිය.

කෙසේ වෙතත් කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද මෙම නවතම තීරණයට අනුව, මෙලෙස ස්වයංක්‍රියව සිදුවන පරිපථ කණ්ඩයක් හේතුවෙන්  ගනුදෙනු අත්හිටුවූ අවස්ථාවකදී මෙම ස්වයංක්‍රීය වෙළෙඳ පද්ධතිය ක්‍රියාත්මක වී යළිත් සාමාන්‍ය ගනුදෙනු වාරය ආරම්භවන කාලසිමාව සඳහා අලුතින් %වෙන්දේසි වාරයක් (Auction Session) හඳුන්වාදීමක් සිදු වන බව පැවසෙයි.

ඒ අනුව මෙහිදී ක්‍රමවේද තුනක් යටතේ මෙම නව වෙන්දේසි වාරය හඳන්වාදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ඒ අනුව පළමු පරිපථ කණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථාවකදී, එනම් S&PSL20 දර්ශකය 5෴කින් අවප්‍රමාණය වන අවස්ථාවකදී වෙළෙඳ පොළ විනාඩි 5ක කාලයකට වසා දැමීමටත්, යළිත් සාමාන්‍ය ගනුදෙනු වාරය ආරම්භවීමට නියමිතව ඇති ඉතිරි විනාඩි 25ක කාලයේදී කොළඹ කොටස් හුවමාරුව මගින් එහි වෙන්දේසි වාරයක් ක්‍රියාත්මක කරනු ඇති බවත් සඳහන් වෙයි.

මෙම කාලයෙන් අනතුරුව වෙළෙඳ පොළ යළිත් සුපුරුදු පරිදි සාමාන්‍ය ගනුදෙනු වාරය වෙත යාම සිදු වෙයි.

මෙම වෙන්දේසි වාරය ක්‍රියාත්මක කාලසීමාවේදී ආයෝජකයන්ට නව ඇනවුම් ඉදිරිපත් කිරීම, අවලංගු කිරීම හෝ දැනට ඉදිරිපත් කර ඇති ඇනවුම් වෙත වෙනස්කම් සිදු කිරීම හෝ සිදු කළ හැකිය.

එසේම පළමු පරිපථ කණ්ඩනයෙන් පසුව යළිත් වරක් SPSL20 දර්ශකය  තවත් 2.5%කින් අවප්‍රමාණය වූ අවස්ථාවකදී දෙවැනි පරිපථ කණ්ඩනය ක්‍රියාත්මක වී නැවතත් කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.

ඒ අනුව එම අවස්ථාවේදීද විනාඩි 30 කාලයකට වෙළෙඳ පොළ වසා තැබෙන අතර, එහිදීද පළමු අවස්ථාවේදී හා සමානවම පියවර ගන්නා බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මේ අතර SPSL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව තවත් 2.5%කින් අවප්‍රමාණයවීමත් සමගින්ම (10%කින්) තෙවැනි පරිපථ කණ්ඩනය ක්‍රියාත්මක වන අතර, එවැනි අවස්ථාවකදී දිනය සඳහා ගනුදෙනු සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සිදු වෙයි. ඒ අනුව මෙම අවස්ථාවේදී කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් වෙන්දේසි වාරයක් හඳුන්වා නොදෙන බවත් එහි බලධාරීන් අවධාරණය කරයි.

මෙලෙස වෙන්දේසි වාරයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඇනවුම් පොත දැකබලා ගත හැකි බවත්, මෙම වෙන්දේසි ක්‍රමවේදය (ඇල්ගොරිතමය) දෛනික වෙළෙඳ පොළ ගනුදෙනු විවෘත කිරීමට පෙරාතුව ක්‍රියාත්මක වෙන්දේසි විවෘත කිරීමේදී යොදා ගන්නා ක්‍රමවේදය හා සමාන වන බවත් සඳහන් වෙයි.

මේ අතර වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීමේ අවස්ථාවකදී එම වෙන්දේසි වාරය පැවැත්වෙන කාලය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව මගින් ප්‍රකාශයට පත් කරනු ඇති බවත්, පෙර සිදුකරන දැනුම්දීමකට අනුව එම වෙන්දේසි කාලය වෙනස් කිරීමේ හැකියාවද කොළඹ කොටස් හුවමාරුව සතුව පවතින බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 371