IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය හා ශ්‍රී ලංකා නියෝජිතයන් අතර හමුවක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූලස්ථානය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා මුදල් ඇමති අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිතයන් පිරිස ඊයේ දිනයේදී එම අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ගිතා ගෝපිනාත් හමු වී තිබේ.

ඇය සිය ට්විටර් ගිණුම තුළ මේ බව සඳහන් කර ඇත. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද සහභාගි වී ඇත.

වර්තමානයේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කළ බව ගීතා ගෝපිනාත් මෙම ටිව්ටර් සටහනේ පවසා ඇත.

ඇය මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධාන ආර්ථිකවිද්‍යාඥවරිය ලෙසද කටයුතු කර ඇත. එසේම ඇය හාර්වර්ඩ් විශ්විවද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියකද වෙයි.

Visits: 164