Netflix ග්‍රාහකයන් අඩු වෙයි – මුරපද හුවමාරුව අත්හිටුවීමට යයි

ලොව ජනප්‍රියතම ස්ට්‍රීමිං සේවාවක් වන Netflix සේවාවේ ග්‍රාහකයන් ක්‍රමයෙන් අහිමිවෙමින් පවතින බව වාර්තා පවසයි. ඒ අනුව මේ වසරේ පළමු මාස තුනක කාලයකදී පමණක් Netflix වෙත ග්‍රාහකයන් ලක්ෂ තුනක් අහිමි වී ඇතැයි සඳහන් වෙයි.

Netflix සමාගම මේ වසරේ පළමු කාර්තුවේදී සිය කාර්ය සාධනය සම්බන්ධයෙන් එහි කොටස් හිමිකරුවන් වෙත නිකුත් කළ මූල්‍ය වාර්තාවක මේ බව ඇතුළත්ව තිබේ.

Netflix සමාගම දශකයකට වඩා වැඩි කාලයකට පසුව සිය ග්‍රාහකයන්ගේ අඩුවීමක් සම්බන්ධයෙන් වාර්තා කළ පළමු අවස්ථාවද මෙයයි. අවසන්වරට සමාගමේ පාරිභෝගිකයන් අඩුවීමක් වාර්තා වී තිබුණේ 2011 ඔක්තෝබර් මාසයේදීය. එසේම ඉදිරි මාස තුනක කාලයකදී සිය ග්‍රාහකයන් ලක්ෂ 20ක් පමණ තමන්ට අහිමි වනු ඇතැයි යනුවෙන්ද Netflix සමාගම ඇස්තමේන්තු කර ඇත.

මෙහිදී සිය පරිශීලකයන් අඩුවීම සඳහා මූලිකවම හේතු වී ඇත්තේ බොහෝ නිවැසියන් සිය Netflix ගිණුමට අදාළ මුරපද (Password) හුවමාරු කරගැනීම බව එම සමාගම හඳුනාගෙන ඇත. ඒ අනුව මේ තත්ත්වය සහ තරගකාරීත්වයත් සමගින්ම මෙලෙස සිය ආදායම් වර්ධනයට බාධා එල්ල වී තිබෙන බව සමාගම පවසයි.

අද වනවිට Apple, Amazon සහ Disney+ යන ස්ට්‍රීමිං සේවාවන් සමගින් Netflix තියුණු තරගයකට මුහුණ දී සිටියි.

සමාගම සඳහන් කරන ආකාරයට ලොව පුරා නිවාස මිලියන 100කට අධික සංඛ්‍යාවක් මෙම මුරපද හුවමාරු කිරීමේ පහසුකම යොදා ගනිමින් නොමිලේම  Netflix ස්ට්‍රීමිං සේවාව ලබා ගන්නා බව හඳුනාගෙන තිබේ. මේ අතරින් මිලියන 30ක්ම එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නිවාස බවත් අනාවරණය වී තිබේ.

අද වනවිට එක් මුරපදයක් යොදා ගනිමින් ග්‍රාහකයන් පස් දෙනෙකුට එකම අවස්ථාවේදී කිසිදු බාධාවකින් තොරව එකම ගිණුමක් හරහා මෙම Netflix සේවාව ලබා ගත හැකිය.

“දැන්වත් මෙම පිරිසගෙන් යම් ගාස්තුවක් අගය කරගැනීමකට අපි යොමු විය යුතුයි.” යනුවෙන් Netflix හි සම ප්‍රධාන විධායක නිලධාරී රීඩ් හාස්ටින්ග්ස් පවසා සිටියි.

ඒ අනුව බොහෝ පිරිසකට තමන්ගේ ගිණුමක් සඳහා මුදල් ගෙවීම උනන්දු කරවීම සඳහා ඉදිරියේදී අත්හදා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදන බවත් Netflix සමාගම පවසයි. ඒ යටතේ චිලිය, කොස්ටා රිකා සහ පේරු යන රාජ්‍යයන් සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවත්, එහිදී වෙනත් නිවෙසක සිටින අයට එක් අයෙකුගේ මුරපදය හරහා සේවාව ලබා ගැනීමේදී යම් කිසි වට්ටම් මුදලකට එය සිදු කරගැනීමේ අවස්ථාව සලසා දෙන බව සඳහන් වෙයි.

මේ අතර ඉදිරියේදී අඩු මිල ගාස්තුවක් අය කරමින් ලබා දෙන සේවාවක් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද Netflix සමාගම සැලසුම් කර ඇතැයි පවසයි. එහිදී දැන්වීම් හරහා ලබා ගන්නා සහයෝගයත් සමගින්ම එම සේවාව ඉදිරිපත් කිරීම අදහස වී තිබේ.

මෙලෙස Netflix හි ග්‍රාහකයන් අඩු වීම එම සමාගම ලැබූ දරුණු කඩාවැටීමක් බවද විචාරකයෝ පවසති. සමාගම මීට පෙර ඇස්තමේන්තු කර තිබූ ආකාරයට මේ වසරේ පළමු කාර්තුවේදී අලුතින් ඒ වෙත ග්‍රාහකයන් ලක්ෂ 25ක් එකතු වෙනු ඇතැයි පවසා තිබුණි.

මේ අතර Netflix සමාගම රුසියාව වෙත ලබා දුන් සිය සේවා අත්හිටුවීමත් සමගින්ම එරට තුළ සිටි පාරිභෝගිකයන් 700,000කට අධික පිරිසක්ද අහිමි විය.

Visits: 161