“අදටත් තියෙන්නේ මගේ විනිමය අනුපාත ප්‍රතිපත්තියයි“ – හිටපු මහ බැංකු අධිපති කබ්රාල්

අභිනවයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා තවදුරටත් පවත්වාගෙන යන්නේ සිය විනිමය අනුපාත ප්‍රතිපත්තියම (Exchange Rate Policy) බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

තමා මහ බැංකු අධිපතිවරයාව සිටි අවධියේදී එනම්, පසුගිය මාර්තු 07 වැනිදා විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබා දීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

“වෙළෙඳ පොළ මාර්ගෝපදේශනයක් ලෙස විදේශ විනිමය ගනුදෙනු සිදුවන්නේ කුමන මට්ටමකද යන්න පිළිබඳව මුදල් මණ්ඩලයේ අපේක්ෂාව ප්‍රකාශ කරමින්, එවකට මුදල් මණ්ඩලය ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලිභාවයට ලක් කිරිමට පැහැදිලි තීරණයක් ගත්තා.”  ඒ මහතා පවසයි.

එහිදී මෙම නම්‍යශීලීභාවය හේතුවෙන් විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කළ බවත් හිටපු අධිපතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් නව මහ බැංකු අධිපතිවරයා සහ මහාභාණ්ඩාගාර ලේකම්වරයා සිය ධුරවල වැඩබාරගත් පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට මේ දක්වාම එම විනිමය අනුපාත ප්‍රතිපත්තිය පවත්වාගෙන යන බවත්, මේ දක්වා මාර්තු 07ට පෙර පැවැති ආකාරයට නිශ්චිත විනිමය අනුපාතිකයන් නිමය කර නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම ඔවුන් දෙපළ විසින් මහ බැංකු මුදල් මණ්ඩලයද එලෙසින්ම පවත්වාගෙන යන බවත් පැහැදිලිව පෙනෙන්නට ඇතැයිද කබ්රාල් මහතා වැඩිදුරටත් පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා ගත් මෙම ඩොලරයට සාපේක්ෂව රුපියල නම්‍යශීලීභාවයට පත් කිරීමේ තීරණයත් සමගින්ද පසුගිය මාර්තු 07 වැනිදා රුපියල් 229.99ක්ව පැවැති ඩොලරයක අගය ඊයේ (අප්‍රේල් 20දා) වනවිට රුපියල් 339.99ක් ලෙස ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වෙයි.

එහෙත් පෞද්ගලික බැංකු සහ බලපත්‍රලාභී විදේශ විනිමය හුවමාරු ආයතන තුළ මෙම ඩොලරයක් සඳහා වන රුපියල් වටිනාකම ඊට වඩා ඉහළ අගයක් ගෙන තිබේ. මෙය අද පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි යන්න ඇතැම් දෙනාගේ අදහස වී තිබේ.

Visits: 231