Huawei සිය වත්මන් සහ විශ්‍රාමික සේවකයන්ට ඩොලර් බිලියන 9.65ක ලාභාංශ ගෙවයි

චීනයේ Huawei Technologies සමාගම සිය වර්තමාන සහ විශ්‍රාමික සේවකයන් සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 9.65ක් වටිනා ලාභාංශ ගෙවීමක් සිදු කර ඇතැයි පවසයි. එම සමාගම තුළ ඇති සේවක කොටස් හිමිකාරීත්ව ක්‍රමවේදය යටතේ මෙම ලාභාංශ ගෙවීම සිදු කර තිබේ.

මෙහිදී වත්මන් සහ විශ්‍රාමගිය හිටපු සේවකයන් 131,507 දෙනෙකු මෙම කොටස් හිමිකාරීත්වය සඳහා සුදුසුකම් ලබා සිටින බව එම සමාගම පසුගිය සතියේදී නිකුත් කළ 2021 වසර සඳහා වන වාර්ෂික වාර්තාවේ සඳහන්ව තිබේ. එම සමාගමට අනුව Huawei Technologies සමාගමේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම පෞද්ගලික කොටස් හිමිකරුවන්ට සහ සේවකයන්ට අයත් වෙයි.

කෙසේ වෙතත් මෙහිදී එම ලාභාංශ ගෙවීම බෙදී ගිය ආකාරය සම්බන්ධයෙන් Huawei Technologies සමාගම අනාවරණයක් කර නොමැති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය මූල්‍ය වර්ෂයේදී Huawei Technologies සමාගමේ දළ ලාභය යුආන් බිලියන 113.7ක් දක්වා 76%කින් ඉහළ නැග තිබේ. එහිදී සමාගම මගින් හඳුන්වාදී ඇති අඩුමිල ස්මාට්ෆෝන් දුරකතනය වන Honor දුරකතනයේ අලෙවියේ වර්ධනය මෙන්ම සමාගමේ සර්වර් ව්‍යාපාරයන් මේ සඳහා වැඩි දායකත්වයක් ලබා දී ඇත.

මෙහිදී විශේෂයෙන්ම Huawei Technologies සමාගම වෙත ඇමෙරිකා එක්සත් ජනපදය මගින් පැනවූ සම්බාධක මධ්‍යයේ මෙලෙස ඉහළ ලාභයක් ලබාගැනීමට හැකිවීම කැපී පෙනෙන අවස්ථාවක් බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු යටතේ එක්සත් ජනපදය 2019 දී සහ 2020 දී මෙලෙස Huawei වෙත සම්බාධක පැනවීම සිදු විය.

Visits: 109