ආචාර්ය නන්දලාල් වීරසිංහ නව මහ බැංකු අධිපති ලෙස වැඩ භාර ගැනීම 07 දා?

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් ලබන අප්‍රේල් 07 දින වැඩ භාර ගැනීමට නියමිත බව රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටී.

මෙහිදී මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් ලද බවත්, තමා එයට එකඟතාවය පළ කළ බවත් වීරසිංහ මහතා මෙහිදී පවසා ඇත. මේ වනවිට ඒ මහතා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. ඒ අනුව ඉදිරියේදී තමා ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර ඇත.

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ අවධියේ ඔහුට නියෝජ්‍ය අධිපති ලෙස උසස්වීමක් 2011 සැප්තැම්බර් මස 27 දා හිමි වූ අතර එම ධූරයේ රාජකාරී ඇරඹීම සිදු කළේ 2012 සැප්තැම්බර් මස 01 දා ය. ඔස්ට්‍රේලියන් නැෂනල් යුනිවර්සිටියෙන් ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිය හා පශ්චාත් උපාධිය හිමි කර ගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

2011 සිට 2020 දක්වා ආචාර්ය වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරය දැරීය. මෙම රජය බලයට පත්වීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු පත්වනු ඇතැයි සඳහන්ව තිබුණද, ඒ වෙනුවට මහාචාර්ය ඩබලිව් ඩී. ලක්ෂ්මන් මහතා වෙත එම තනතුර පිරිනැමිණි.

ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ හා විදේශ සංචිත කළමණාකරන කමිටුවේ සහාපතීත්වය දරා ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාන, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, දේශීය කටයුතු, සාර්ව විචක්ෂණ අධ්‍යයන සහ අධීක්ෂණ, විනිමය පාලන, ව්‍යවහාර මුදල් හා සන්නිවේදන යන දෙපාර්තමේන්තු භාර නියෝජ්‍ය අධිපති ලෙස කටයුතු කර තිබේ.

Visits: 240