බ්‍රවුන් සහ සමාගමෙන් රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන් සහ සමාගම BROWN & COMPANY PLC (BRWN.N0000) මගින් ඉල්ලුම් කර තිබූ ණයකර කොටස් නිකුතු යෝජනාවක්සඳහා අනුමැතිය හිමිව ඇතැයි එම සමාගම පවසයි. මෙය ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත, පිරිමුදවාගත හැකි ණයකර නිකුතුවක් ලෙස සිදු කිරීම සැලසුම වී තිබේ.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ණයකර කොටස් නිකුතුව යටතේ පළමුවෙන්ම ණයකර කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීම සිදු කරයි. එසේම ඒ සඳහා හිමිවන අධි දායකත්වයත් සමගින්ම තවත් ණයකර කොටස් මිලියන 30ක් (30,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ.

ඒ අනුව මෙම නිකුතුව හරහා සිදු කරන සමස්ත ණයකර කොටස් ප්‍රමාණය මිලියන 50ක් (50,000,000ක්) වෙයි. මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 5ක් ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී ණයකර සඳහා ගෙවනු ලබන පොලිය අනුව Type A සහ Type B ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම ණයකර නිකුත් කිරීම සිදුවන බව බ්‍රවුන් සහ සමාගම පවසයි.

ඒ අතරින් Type A කාණ්ඩයේදී වාර්ෂිකව ගෙවනු ලබන 15.50%ක (වා.පො) ස්ථාවර කූපන් අනුපාතයක් හිමිවන අතර, Type B කාණ්ඩයේදී 15.42%ක කාර්තුමය වශයෙන් ගෙවනු ලබන ස්ථාවර කූපන් අනුපාතයක් හිමිවන බවත් සඳහන් වෙයි.

සමාගම සඳහන් කරන ආකාරයට මෙම ණයකර නිකුතුව කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කිරීම ලබන මාර්තු 30 වැනිදා සිදු කිරීම සැලසුම වී තිබේ.

මෙම නිකුතුවේ කළමනාකරුවන් ලෙස NDB Investment Bank Limited සමාගම ක්‍රියා කරයි.

මේ අතර අදාළ ණයකර නිකුතුවට අදාළව බ්‍රවුන් සහ සමාගම මගින් ඉදිරිපත් කරන සංස්ථා ප්‍රකාශය අද දිනයේදී ප්‍රසිද්ධියට පත් කෙරෙන බවත් සඳහන් වෙයි.

Visits: 386