හැටන් නැෂනල් බැංකුව විදෙස් ශ්‍රමිකයන් උදෙසා ‘HNB අධිෂ්ඨාන’ බැංකු පැකේජය හඳුන්වා දෙයි

හැටන් නැෂනල් බැංකුව විදේශයන්හි රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට ප‍්‍රතිලාභ රැසක් ලබා දෙන HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වාදිම පසුගියදා සිදු කළ බව පවසයි.

ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම මෙරටට පේ‍්‍රෂණ යැවීමේදී විධිමත් පේ‍්‍රෂණ මාර්ග භාවිතය දිරිමත් කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL)  හඳුන්වා දී ඇති වැඩසටහනට සහාය වෙමින් මෙම වැඩසටහන දියත් කර තිබේ.

සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල මූල්‍ය හා සමාජීය අවශ්‍යතා පිළිබඳව මනා ලෙස අවබෝධ කර ගනිමින් ද සංක‍්‍රමණික ශ්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වලට තිරසාර ජීවනෝපායන් සංවර්ධනයට හා යහපැවැත්මට සහාය වීම සඳහා ද HNB මෙම විශේෂ පැකේජය නිර්මාණය කර තිබේ.

HNB අධිෂ්ඨාන පැකේජය හා සම්බන්ධිත ඉතුරුම් ගිණුම මගින් විදෙස්ගතව රැකියාවල නියුතුව සිටින සියලූ ශ‍්‍රී ලාංකිකයන්ට තම ආදරණීයයන් වෙත මුදල් යැවීමට ආරක්ෂිත, වඩා පහසු සහ ලාභදායී පේ‍්‍රෂණ ක‍්‍රමවේදයකට ඍජු ප‍්‍රවේශය ලබා දෙයි.

HNB අධිෂ්ඨාන පැකේජය හඳුන්වා දීම වෙනුවෙන් HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඞ් කබ්රාල්, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස්, සහකාර අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව, ඞී. කුමාරතුංග, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා සහකාර කොමසාරිස්, සුධීර විතාන, HNB ඇෂුවරන්ස් ලයිෆ් ප‍්‍රධාන විධායක නිළධාරී ලසිත විමලරත්න, බලපත‍්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමය (ALFEA) හි සභාපති එෆ්. මරික්කාර්, Mobitel ප‍්‍රධාන අලෙවි නිළධාරී, ශෂික සෙනරත්, IIHS, ප‍්‍රධාන විධායක නිළධාරී/නිර්මාතෘ, වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සහ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න යන මහත්වරුන් සහභාගී විය.

සියලූම අධිෂ්ඨාන ගිණුම්හිමියන් උදෙසා විශේෂ ඩෙබිට් කාඞ්පතක් නිකුත් කරනු ඇති අතර HNB හරහා අඛණ්ඩව ශ‍්‍රී ලංකාවට විදේශ පේ‍්‍රෂණ එවනු ලබන ගනුදෙනුකාරභවතුන්ට බැංකුව බොහෝ ප‍්‍රතිලාභ ලබා දෙනු ඇත.

ඔවුන්ගේ HNB අධිෂ්ඨාන ගිණුමේ අනිවාර්ය මුදලක් ඉතිරි කර ගැනීමට කැමති පාරිභෝගිකයින්ට සුවිශේෂී නිවාස සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ගත හැකිය.

 මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් මහතා සඳහන් කර සිටියේ ”පළමුවෙන්ම මෙම ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සහභාගී වූ අපගේ ගනුදෙනුකාරභවතුන්ට සහ හවුල්කරුවන්ට මම ස්තුතිවන්ත වනවා. මෙම ක්ෂේත‍්‍රයේ වසර 30කට අධික කාලයක් පුරාවට විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බැංකුවක් වශයෙන් අප දන්නවා මෙම සංක‍්‍රමණික ශ‍්‍රමිකයින් අප රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කොටසක් බව. ඒනිසා ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා වැදගත් දායකත්වයක් ලබා දෙන රට විරුවන් සහ ඔවුන්ගේ පවුල්වලට විශේෂ වරප‍්‍රසාද සහ සැලකිල්ලක් ලබා දීම සඳහා මෙවැනි වැඩසටහනක් දියත් කරමින් ඔවුන්ව නිසි ඇගයීමට ලක් කිරීමට හැකිවීම ගැන අප ඉතා සතුටට පත්වනවා.’’ යනුවෙනි.

Visits: 161