කීල්ස් සමාගම ලංකාවේ තෙවැනි විශාලතම ගබඩා පරිශ්‍රය විවෘත කරයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් සුපිරිවෙළෙඳ සැල් ජාලය වන කීල්ස් මගින් සිය නවතම ගබඩා පරිශ්‍රය පසුගියදා විවෘත කර තිබේ. මෙය කීල්ස් ඩිස්ට්‍රිබියුෂන් සෙන්ටර් ලෙසින් නම් කර ඇත.

එම සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා අතින් මෙම නව ගබඩා පරිශ්‍රය විවෘත කිරිම සිදුව ඇත. මෙම අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහයේ සහ කීල්ස් සුපිරිවෙළෙඳ සැල් ජාලයේ ප්‍රධානීන් ඇතුළු සේවක පිරිස් එක්ව තිබේ.

කිල්ස් සමාගම සඳහන් කරන ආකාරයට මෙම නව පරිශ්‍රය ලංකාවේ පිහිටි තෙවැනි විශාලතම ගබඩා පරිශ්‍රයද වෙයි. එසේම එය නවීනතම සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය තුළ පවතින තාක්ෂණිකව දියුණු බෙදාහැරීමේ පහසුකම් සහිත විශාලතම ගබඩා පරිශ්‍රය ලෙසද හඳුන්වාදී තිබේ.

විශේෂයෙන්ම සිය පාරිභෝගිකයන් සඳහා වඩාත් ඉහළ ගුණාත්මක බවින් යුත් නැවුම් නිෂ්පාදන ලබා දීම සහතික කිරිම සඳහා වන සිය ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙසටද කීල්ස් සමාගම මෙය හඳුන්වාදී තිබේ.

එසේම මෙම ගබඩා පරිශ්‍රය හරහා නව රැකියා 500කට වඩා ප්‍රමාණයක් බිහි වන බවත්, එය රටෙහි සමස්ත ආර්ථිකය වෙත වඩාත් ධනාත්මක බලපෑමක් එල්ල කරන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහය පවසයි.

එහිදී ගබඩා පරිශ්‍රයේ සේවකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරිම සහ ඉහළ සේවා පරිසරයක් සැලසිම සඳහාද සමාගම කටයුතු යොදන බවත් සඳහන් කරයි.

Visits: 846