සංවර්ධන ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන ගණනින් මහජන මුදල් විනාශයක

රජයට අයත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සඳහා පත් වූ අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරින් විසින් වරින් වර ගන්නා ලද තීරණ හේතුවෙන් පසුගිය කාලසීමාවේදී දැවැන්ත මහජන මුදල් විනාශයක් සිදුව තිබෙන බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පවසයි.

එම කාරක සභාව මගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 2017 සහ 2018 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශන වාර්තාව පිළිබඳව පසුගියදා සිදුකළ විමර්ශනයකදී මේ කරුණු අනාවරණය වී තිබේ. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත් වී ඇත.

මෙම විගණකාධිපති වාර්තාවට අනුව, සංවර්ධන ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහන් පටිගත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 38.75ක් වැය කර ඉදිකරන ලද චිත්‍රාගාරය අපේක්ෂිත අරමුණ වෙනුවෙන් 2015 සිට මේ දක්වාම භාවිත කර නැත. එහෙත් අදාළ කාලය තුළ එම කටයුතු සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 2146.82ක් ගෙවා තිබේ.

මෙහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් ඊට පිළිතුරු ලෙස සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සහන මිලකට පටිගත කිරීම් සිදු කරන බැවින් මෙම චිත්‍රාගාරය අනවශ්‍ය බවත් එය ශ්‍රවණාගාරයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

එසේම වොක්ෂෝල් වීදියේ අංක 234 දරන ගොඩනැගිල්ල කුලී පදනම මත මණ්ඩලය වෙත ලබා ගැනීම සඳහා එළඹ තිබූ ගිවිසුම සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඒක පාර්ශවිකව කඩ කිරීම නිසා මණ්ඩලයට අය විය යුතු රුපියල් 5,700,000 ක මුදලක් වර්ෂ 14ක් මුළුල්ලේ අයකර ගැනීමට නොහැකි වී තිබීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු වී තිබේ.

එහිදී මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින අවස්ථාවේදී ඉහත සඳහන් ගොඩනැගිල්ල වෙළඳ අමාත්‍යාංශය විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ බවත් එය මණ්ඩලය විසින් භාවිතයට ගැනීමේදී තවත් විශාල මුදලක් වැයවන නිසා එය අවලංගු කිරිම සිදු කළ බවත්ය. 

මීට අමතරව 2015 මැයි 25 දිනැති අංක පී ඊ ඩී/01/2015 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අනුව සුදුසුකම් සපුරා නොතිබූ ප්‍රවාහන හිමිකම් නොමැති නිලධාරීන් 08 දෙනෙකු සඳහා නිල වාහන වෙන් කිරීම සහ ඉන්දන දීමනා වෙනුවෙන් 2017 සහ 2018 වර්ෂ වලදී රුපියල් 2,590,545 ක මුදලක්  ගෙවා තිබේ.

මෙහිදි නිලධාරීන් සඳහන් කළේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින අවධියේදී ලබා දුන් අනුමැතියක් අනුව මෙම වාහන ලබා දී තිබූ බවත් පසුව එලෙස වාහන ලබා දීම නතර කරන ලෙස අමාත්‍යාංශය විසින් ලිපියකින් දන්වා ඇති බවකි.

2008 වර්ෂයේදී වාහන නියෝජිත ආයතනයකින් රුපියල් 8,095,000 ක් වටිනා කැබ් රථයක් මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කර තිබුනද, එදින සිටම එම වාහනය අස්ථානගත වී තිබේ.

අදාළ වාහනය වෙනුවෙන් වාහන සමාගම වෙත මුදල් නොගෙවීම නිසා එම සමාගම විසින් නඩු පවරන ලද එහි තීන්දුවට අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට එම ආයතනය වෙත රුපියල් 16,190,000කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවී ඇත. මෙම නඩුව සඳහා මණ්ඩලය විසින් දරන ලද නීතිඥ වියදම් ඇතුළුව 2018 දෙසැම්බර් 31 වන විට මුළු අලාභය රුපියල් 26,634,185 ක් විය. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව අදාළ අලාභය අය කර ගැනීම සඳහා සිවිල් නඩුවක් පවරා ඇති බව මණ්ඩලය පවසයි.

Visits: 170