රන් ඇතුළු සම්මාන 250කින් වර්ණවත් වූ සදාහරිත සම්මාන රාත්‍රිය සාර්ථකව

ජනතාවට විශිෂ්ට ප‍්‍රතිලාභයක් සහිත හරිත ආයෝජන අවස්ථා ලබා දෙන සැබවින්ම ශ‍්‍රී ලාංකික සමාගමක් ලෙස ජනප‍්‍රසාදය දිනා ඇති සදාහරිත වැවිලි සමාගම සිය 2019/20 සහ 2020/21 වාර්ෂික සම්මාන රාත‍්‍රිය පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීය.

සදාහරිත හරිත සම්මාන – ‘ඔබගේ ධෛර්යය ආශ්වාසය  කරන්න බිය හා  නොහැකියාව ප්‍රාශ්වාසය කරන්න’ ‘‘Forestry Award – INHALE COURAGE EXHALE FEAR’’ යන තේමාව යටතේ පවත්වන ලද සදාහරිත 2019/20 සහ 2020/21 සම්මාන රාත‍්‍රියේදී කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය, සේවා හැකියාවන් සහ වෙහෙස මහන්සිය හා කැපවීම ඉහළින් අගය කෙරිණි.

මෙම විශේෂ සම්මාන උළෙල දෙහිවල, අත්තිඩිය, ඊගල්ස් ලේක්සයිඞ් හි දී සදාහරිත සමාගමේ සභාපති සතිස් නවරත්න මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ මෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය අත්කර දුන් ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ විශේෂ සභාගිත්වයෙන්  පැවැත්විණි.

මෙහිදී 2020/21 වර්ෂය තුළ විශිෂ්ටතා දැක්වූ අලෙවිකරණ කාර්ය මණ්ඩලයට, සම්මාන 250 කට අධික ප‍්‍රමාණයක් ඇතුළුව විදේශ සංචාර, මුදල් ත්‍යාග සහ සහතික පිරිනමන ලදී. මීට අමතරව, සේවකයින් කිහිප දෙනෙකුගේ කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද වසර දහයක සේවා කාලය සම්පුර්ණ කරන ලද විශිෂ්ඨ සේවකයින් සඳහා රන් කාසි ප්‍රදානයද සිදු කෙරිණි.

සම්මාන උළෙලට සපැමිණි පිරිස අමතමින් සභාපති සතීස් නවරත්න මහතා මෙසේ පැවසීය. ”අපගේ සේවකයින්ගේ ගුණාත්මකභාවය සහ උද්යෝගිමත්භාවය පිළිබඳව මා නැවතනැවතත් පුදුමයට පත්වනවා. ගෝලීය වසංගතයක් හමුවේ සමස්ත ආර්ථිකයම අර්බුදකාරී තත්ත්වයක පවතිද්දී පවා සිය අලෙවි ඉලක්කයන් සපුරා ගනිමින් විශිෂ්ඨ කර්යසාධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස මෙන්ම පසුගිය වසර ගණනාවක දේශිය අගාවුඩ් වෙළඳපොලේ හොඳම අගාවුඩ් සඳහා වන ගෞරවය අප සමාගම සතු වනවා.1300කට ආසන්න අපගේ සමස්ත සේවක මඩුල්ල මෙලෙස ඇගයීමට ලක් කරමින් ඔවුන්ට ගෞරවය සහ ස්තුතිය පිරිනැමීමට අවස්ථාව හිමිවීම මහත් සතුටක්.”

අගාවුඩ් වෙළඳ පොළේ ප්‍රමුඛතම දේශීය සන්නාමය වන සදාහරිත සමාගම මෙම සම්මාන රාත්‍රියේදී සිය සන්නාමය යටතේ සිඔර් වෙර්ද (Sior Verde)නමින් කුළුදුල් සුවඳ විලවුන් නිෂ්පාදනයක් ද ලොවට හඳුන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කිර්තිය අත්කර දුන් මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා වෙත මෙහිදී මෙම ප්‍රථම සුවඳ විලවුන් නිෂ්පාදනය පිළිගැන්වීම සිදු කෙරිණි. සදාහරිත සමාගම මේ වනවිට සිය ජාත්‍යන්තර අලෙවි මධ්‍යස්ථානය කිහිපයක් ද එක්සත් අරාබිය ඇතුළු රටවල් කිහිපයක පිහිටුවා ඇත.

ශ‍්‍රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ දශක දෙකක අත්දෑකීම් සහිත වෙළඳපොළ ප‍්‍රමුඛයා ලෙස, සදාහරිත වැවිලි සමාගම විසින් සේවකයින් 1300 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා නිර්මාණය කර දී තිබේ. සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 30,000 කට අධික සංඛ්‍යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී ඇත. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයන් වෙත මුදල් ප්‍රතිලාභ පිරි නැමීම ද පසුගිය වසරේ සිදු කෙරිණි.

සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙහිදී අදහස් දක්වමින්”අපගේ කාර්යමණ්ඩලයට සිය වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩ නගා ගැනීමට ආයතනය ලබාදෙන මෙම සහය ආයතනයේ සාර්ථක ඉදිරි ගමන් මගට විශාල ශක්තියක් බවට පත්වනවා. අපගේ සියලුම කාර්ය මණ්ඩලය වෘත්තීය සුදුසුකම්වලින් ඉහළට ඔසවා තැබීමට අප නිරන්තරයෙන්ම කැපවී සිටිනවා.” යැයි පැවසිය.

Visits: 47