EX-Pack PLC සමාගම රු.මිලියන 240කට සපුගස්කන්දේ තවත් අක්කර 2ක ඉඩමක් මිලදී ගනී

මෙරට තුළ කොරුගේටඩ් කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදනයේ යෙදෙන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත Ex-pack Corrugated Cartons PLC සමාගම සිය ව්‍යාපාර පුළුල් කිරීමක් වෙනුවෙන් රුපියල් මිලියන 240ක ආයෝජනයකින් ඉඩමක් මිලදී ගත් බව පවසයි.

ඒ අනුව සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහි‍ටි අක්කර 2යි පර්චස් 23.75ක භූමියක් සමාගම මගින් මෙලෙස මිලදීගෙන ඇති අතර, ඒ සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 240.6ක් (240,625,000ක්) ලෙස ගණන් බලා තිබේ.

පසුගියදා මේ සම්බන්ධයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමගින්ම මාර්තු 10 වැනිදා මෙම මිලදී ගැනීම සිදු කළ බව ඊයේ එම සමාගම කොටස් හුවමාරුව වෙත දැනුම් දීතිබේ.

මෙලෙස අලුතින් මිලදී ගත් ඉඩමට යාබදව Ex-pack Corrugated Cartons Ltd විසින් මිලදීගත් තවත් අක්කර 03යි, රූඩ් 1 යි පර්චස් 7.2ක ඉඩමක් පවතින බවත් සමාගම සඳහන් කරයි. 2015 දෙසැම්බර් මාසයේදී එම මිලදී ගැනීම සිදු කර තිබේ.

ඒ අනුව මෙම නවතම මිලදී ගැනීමත් සමගින්ම එම ප්‍රදේශය ආශ්‍රිතව අක්කර 5යි රූඩ් 1ක තනි භූමියක් හිමි කර ගැනීමට  Ex-pack Corrugated Cartons Ltd සමාගම සමත්ව ඇතැයි සඳහන් කරයි.

එසේම මෙම අවස්ථාවත් සමගින්ම සිය සමාගම වෙත තවදුරටත් සිය ව්‍යාපාර මෙහෙයුම් ව්‍යාප්ත කිරිම සඳහා මෙය අවස්ථාවක් වී තිබෙන බවත් සමාගම පවසයි.

මේ අතර සමාගම මගින් අක්කර 5ක භූමියක පවත්වාගෙන යන වර්ග අඩි 145‍්,000ක විශාලත්වයෙන් යුත් වර්තමාන කර්මාන්තශාලා පරිශ්‍රය එලෙසින්ම පවත්වාගනෙ යාමටත්, අලුතින් මිලදී ගත් ඉඩමෙහි පර්චස් 870ක භූමියක වර්ග අඩි 150,000ක කර්මාන්තශාලාවක් අලුතින් ඉදිකිරීමටත් සමාගම තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව මෙය සමාගම මගින් සිදු කළ මූලික මහජන කොටස් නිකුතුවෙහි සඳහන් කළ ආකාරයට සමාගම මගින් අක්කර 10ක භූමියක වර්ග අඩි 300,000ක කර්මාන්තශාලා පරිශ්‍රයක් පවත්වාගෙන යාම සඳහා වන කටයුතු සාර්ථක කරගැනීමේ අවස්ථාවක් වන බවත් Ex-pack Corrugated Cartons Ltd සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 659