සොෆ්ට්ලොජික් සමූහය මිලදී ගත් මොකක්ද මේ Agora සුපිරි වෙළෙඳ සැල් ජාලය?

බංග්ලාදේශයේ ක්‍රියාත්මක සුපිරි වෙළෙඳ සැල් ජාලයක් වන Agora හි 100%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගැනීමට මෙරට ලැයිස්තුගත සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය පියවර ගත් බව පසුගියදා (මාර්තු 04දා) අනාවරණය කෙරිණි.

මෙහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම හරහා බංග්ලාදේශයේ මෙම Agora සුපිරි සාප්පු සංකීර්ණය මිලදී ගැනීමේ එකඟතාවකට පිවිස ඇතැයි අනාවරණය කෙරිණි.

අද වනවිට Agora සන්නාමය එරට හයිපර්මාර්කට් සංකල්පය යටතේ ක්‍රියාත්මක සුපිරි වෙළෙඳ සැල්, ඩිපාර්ට්මන්ට් ස්ටොර් සහ සිල්ලරභාණ්ඩ ඇලවි සැල් ඇතුළු අංශ කිහිපයක්ම පවත්වාගෙන යයි. එහි ප්‍රධාන කාර්යාලය ඩකා අගනුවර පිහිටා තිබේ.

බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම Agora සුපිරිවෙළෙඳ සැල් ජාලය බංග්ලාදේශය පිහිටුවුණු පළමු සුපිරි වෙළෙඳසැලයි. එරට පිහිටි සමාගම් සමූහයක් වන Rahimafrooz මගින් 2001 වසරේදී මෙම Agora සුපිරිවෙළෙඳ සැල් ජාලය ආරම්භ කර තිබේ.  අද එය බංග්ලාදේශයේ දෙවැනි විශාලතම සුපිරි වෙළෙඳ සැල් ජාලය ලෙසද සැලකෙයි.

අද වනවිට Agora සුපිරිවෙළෙඳ සැල් ජාලය සතුව අලෙවි සැල් 18ක් ඇත. ඉන් 15ක්ම පිහිටා ඇත්තේ ඩකා අගනුවරයි. එසේම සිල්හෙට්හිදී තවත් අලෙවි සැල් 2ක් සහ චටෝග්‍රාම්හිදී එක් අලෙවි සැලක් ලෙස ඒවා බෙදී ගොස් ඇත.

බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කරන ආකාරයට අද වනවිට මෙම Agora සුපිරිවෙළෙඳ සැල් ජාලය ඉහළ ලාභයක් සහිතව පවත්වානෙ යන ව්‍යාපාරයකි. එහි වාර්ෂික පිරිවැටුම ටකා කෝටි 500කි.

වර්තමානයේදී Agora සුපිරිවෙළෙඳ සැල් ජාලයේ වැඩිම කොටස් ප්‍රමාණය වන 72%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ එරට ක්‍රියාත්මක ආයෝජන අරමුදලක් වන Brummer and Partners (Bangladesh) සමාගමටයි.

ඒ අනුව දශකයකට අධික කාලයක් මෙම සුපිරි වෙළෙඳ සැල් ව්‍යාපාරය වෙත මුදල් ආයෝජනය කළ සිය සමාගම දැන් ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ එහි මුල් හවුල්කරුවෙකු වන ඛාලිඩ් ක්ආයිදිර් බංග්ලාදේශ මාධ්‍ය වෙත පවසා තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහය මෙම Agora සුපිරිවෙළෙඳ සැල් ජාලය මිලදී ගැනීමත් සමගින්ම ඉදිරියේදී බංග්ලාදේශයේ සිල්ලර වෙළෙඳ සැල් ව්‍යාපාරය වෙත සුවිශේෂී වටිනාකමක් එක් කරනු ඇතැයි යනුවෙන්ද ඔහු විශ්වාසය පළ කරයි.

විශේෂයෙන්ම මෙම එකඟතාවට පිවිසි සොෆ්ට්ලොජික් රීටේල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම අද වනවිට ලොව සුප්‍රසිද්ධ වෙළෙඳ නාමයන්ගෙන් යුත් ඇගලුම්, පාරිභෝගික විදුලි උපාංග, ජංගම දුරකතන, සුපිරි වෙළෙඳසැල් සහ ක්ෂණික ආහාර සහිත ආපනශාලා යනාදී ක්ෂේත්‍ර ගණනාවකම ව්‍යාප්තවී සිටියි.

ගණන් බැලීම් අනුව අද වනවිට බංග්ලාදේශයේ සිල්ලර භාණ්ඩ අංශයේ වෙළෙඳ පොළෙහි වාර්ෂික පිරිවැටුම ආසන්න වශයෙන් ටකා කෝටි 3,000කට අධිකය. එහිදී රට පුරාම විවිධ සමාගම් යටතේ ක්‍රියාත්මක වන සුපිරි වෙළෙඳ සැල් 300කට අධික ප්‍රමාණයක් පිහිටා තිබේ.

මේ අතරින් බංග්ලාදේශයේ අංක එකේ සුපිරි වෙළෙඳ සැල් ජාලය වන්නේ ACI සුපර්මාර්කට් සමාගම හරහා ක්‍රියාත්මක කරන Shwapno සුපිරි වෙළෙඳ සැල් ජාලයයි. Shwapno සතුව අලෙවි සැල් 207ක් පිහිටා ඇති අතර, ඉන් 55ක් දැවැන්ත සුපර්ස්ටෝර්ස් ලෙස නම් කෙරී ඇත. එසේම Shwapno රට පුරාම සිය වරලත් අලෙවි නියෝජිත අවස්ථාව ලබාදී තිබේ. Agora සුපිරි වෙළෙඳ සැල් ජාලයට පසුව තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ සුපිරිවෙළෙඳ සැල් 15ක් සහිත Meena Bazar ජාලයයි.

විශේෂයෙන්ම අද වනවිට බංග්ලාදේශයේ ඒකපුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 2,000ක සීමාව පසුකිරීමත් සමගින්ම පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාම තුළ ඉහළ අවස්ථාවන් රැසක් නිර්මාණය වෙමින් පවතින බව එරට මාධ්‍යවල අදහස වී තිබේ.

එහිදී වඩාත් හොඳ, සුරක්ෂිත සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් බංග්ලාදේශ ජනතාව බලාපොරොත්තුව සිටින බවත්, එම අවස්ථාව දෙස අවධානය යොමු කරමින් ඉතා හොඳ විශ්ලේෂණයක් සිදු කර ශ්‍රී ලංකාවේ වඩාත් සාර්ථක ව්‍යාපාර ජාලයක් මෙලස එරට සුපිරි වෙළෙඳ සැල් ව්‍යාපාරය වෙත එළැඹ තිබෙන බවත් බංග්ලාදේශායේ සුපිරි වෙළෙඳ සැල් හිමිකරුවන්ගේ සංගමයේ මහලේකම්වරයා වන සකිර් හුසේන් එරට මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙහිදී අදාළ ගනුදෙනුව සඳහා එකඟවුණු වටිනාකම පිළිබඳව එම සමාගම් දෙක හරහාම මෙතෙක් අනාවරණය වී නැත. බොහෝ විට එය බංග්ලාදේශ ටකා කෝටි 181ත් 249ත් අතර වටිනාකමක් ගනු ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය පවසයි.

මින් උපරිම වටිනාකම වන ටකා කෝටි 250 දැනට වසර දෙකකට පමණ පෙරාතුව Meena Bazar ජාලය Agora මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ වටිනාකම වෙයි. එසේම ටකා කෝටි 181ක මුදල බංග්ලාදේශ මහ බැංකුව විසින් එම ගනුදෙනුව සඳහා නියම කළ වටිනාකමයි. ටකා මුදල් ඒකකයක් ශ්‍රී ලංකා රුපියල් 2.65ක වටිනාකමක් ගනී.

Visits: 429