GEC හි ඩෙමෝ දිනයේදී හරිත බලශක්ති නවෝත්පාදන අදහස් රැසක් කලඑලි බසී

හරිත බලශක්ති ශුරතාවයේ (Green Energy Champion (GEC)) “ඩෙමෝ දිනය” පසුගියදා ආරම්භ වීමත් සමඟම එම ශූරතාවය එහි සිව් වන සහ අවසාන අදියර කරා ලඟා වී ඇතැයි සංවිධායකයන් සඳහන් කරයි.

මෙම හරිත බලශක්ති ශුරතාවය යනු ශ්‍රී ලාංකික නව ව්‍යවසායකයන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සතු නව්‍යකරණ අදහස් හඳුනා ගැනීම අරමුණ කරගත් ව්‍යාපෘතියකි.

ඒ අනුව ඩෙමෝ දිනයේ දී තෝරාගත් හරිත බලශක්ති නවෝත්පාදකයන් කණ්ඩායම් පහක් – එනම් එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ එකෝ ටෙක් බේස් (Eco Tech Base) විසින් තම නව අදහස් සහ විසඳුම් ජාත්‍යන්තර සහ දේශීය කර්මාන්ත පුරෝගාමීන්, ආයෝජකයන්, ප්‍රධාන පෙළේ ව්‍යාපාර විධායකයන් සහ නොයෙක් සම්භාවනීය අමුත්තන්ගෙන් සැදුම්ලත් ප්‍රේක්ෂක සභාවක් වෙත ඉදිරිපත් කිරිම සිදුව තිබේ.

ගමන් මාර්ග ප්‍රශස්තකරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉලෙක්ට්‍රොනික මෝටර් සයිකලය වැනි ස්මාර්ට් ප්‍රවාහන විසඳුම්, දැරිය හැකි මිලැති සූර්ය පැනල සහ උණු වතුර පද්ධති, ගෘහස්ථ කාබනික පොහොර, සහ ජීව වායු විසඳුම් ඇතුළු පුළුල් පරාසයක නවෝත්පාදන එහිදී සම්මානයට පාත්‍ර වී තිබේ.

GEC හි ඩෙමෝ දිනය 2022 පෙබරවාරි 3 වන දින සජීවීව විකාශය කරන ලද අතර, GIZ Sri Lanka හි දේශීය අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටියාන එයින්ෆෙල්ඩ් විසින් සිදුකළ උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ගෞරවනීය අමුත්තන් වශයෙන් එක්වූ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති, හොල්ගර් ෂූබර්ට් සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල යන මහත්වරු උත්සව සභාව ඇමතූහ.

“ශ්‍රී ලංකාව 2050 වන විට කාබන් විමෝචන වලින් තොර දැයක් කරා යාමේ වැදගත් ගමන අරඹා තිබෙනවා. මේ ගමනේදී 2030 වන විට පුනර්ජනනීය බලශක්තිය 70%ක් දක්වා වැඩි කිරීමට ඉලක්කයක් සකසා තිබෙනවා. ජර්මනියේ ෆෙඩරල් විදේශ කටයුතු කාර්යාලය කාලීන හා වැදගත් ව්‍යාපෘතියක් වන හරිත බලශක්ති ශුරතාවය ක්‍රියාත්මක කරමින් අප සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන අපි සතුටු වෙනවා. හරිත බලශක්ති නවෝත්පාදන සිදු කරන ජයග්‍රාහී නව ව්‍යවසායකයින් පස් දෙනාට සහ හරිත ශ්‍රී ලංකාවක් සඳහා ඔවුන්ගේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ අදහස් සහ විසඳුම් වෙනුවෙන් මම සුබ පතනවා,” තම ප්‍රධාන දේශනයේ දී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති සේපාල මහතා පැවසීය.

නව ජර්මානු රජය දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රමුඛත්වය ගෙන ඇති බව සිය දේශනයේදී තානාපති ෂූබර්ට් පෙන්වා දුන්නේය. ජයග්‍රාහකයින් පස් දෙනාට සුබ පැතුම් එක් කරමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය, “ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දැනට හඳුනා නොගත් නව නිර්මාණාත්මක අදහස් තිබෙන බව හරිත බලශක්ති ශුරතාවය සෑම වසරකම අපිට පෙන්වා දෙනවා. හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී ව්‍යවසායකයින් සහ පෞද්ගලික අංශය බොහොම වැදගත් වෙනවා. නිවැරදි ප්‍රතිපත්ති රාමු යටතේ සමාගම් විසින් ක්‍රියාත්මක කරනු ලබන නවෝත්පාදනයන් සමග ඉතා කෙටි කාල රාමුවක් තුළ තිරසාර විසඳුම් යොදවන්න පුළුවන්.”

එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ එකෝ ටෙක් බේස් (Eco Tech Base) විසින් මෙම අවස්ථාවට රැස්ව සිටි ආයෝජකයින් සහ හවුල්කාර ජාලය වෙත ඔවුන්ගේ ව්‍යාපාරික විසඳුම් ඉදිරිපත් කළ අතර, ප්‍රධාන හරිත බලශක්ති පාර්ශවකරුවන් අතර සන්ධාන සහ හවුල්කාරිත්වයන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සංවිධානය කර සැසිය සමඟ ඩෙමෝ දිනයේ අවසානය සනිටුහන් විය.

Visits: 60